Exclusive- පැකර් නැතත් රවී විජේරත්න අළුත් ආයෝජකයෙකු සමග පෙරට

    February, 9, 2015

    ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් සමග ඒකාබද්ධ වී කොළඹ ලේක් හවුස් ඉදිරිපිට හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා අප සමග පැවසුවේ අදාළ හෝටල් ව්‍යාපෘතිය වෙනත් ආයෝජකයෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකිරීමට තමා ඉදිරියේදී කටයුතු කරන බවයි.

    ඒ වෙනුවෙන් ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවත් කොළඹ ලේක් හවුස් ඉදිරිපිට මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිත ඉඩම සඳහා තමන් රජයට මුදල් ගෙවා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    කැසිනෝ නොමැතිව අදාළ ව්‍යාපෘතිය සිදුකරන බවත් සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබීම හමුවේ කොළඹ නගරයට සුපිරි පහසුකම් වලින් සමන්විත හෝටල් තවත් අවශ්‍යව තිබෙන බවත් විජේරත්න මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.

    වත්මන් රජය විසින් ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ සඳහා බදු සහන ලබා නොදීම හේතුවෙන් ජේම්ස් පැකර් මෙම හෝටල් ව්‍යාපෘතියෙන් පසුගියදා ඉවත් විය.

    “මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකිරීම නතර කරන්නෙ නෑ. අළුත් ආයෝජකයෙකු සම්බන්ධ කරගෙන ව්‍යාපෘතිය සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.“

    යනුවෙන් විජේරත්න මහතා සඳහන් කළේය.

    නව රජයේ අතුරු අයවැය මගින් කැසිනෝ බලපත්‍රයක් සඳහා රුපියල් බිලියනයක දැවැන්ත බද්දක් අයකර තිබෙන අතර ඒ තුළින් රජය උපයා ගැනීමට සැලසුම් කර තිබෙන මුදල රුපියල් බිලියන 05 කි.