Exclusive- ෂැන්ග්‍රි-ලා ගාලු මුවදොරින් තවත් ඉඩමක් ඉල්ලයි

    November, 12, 2014

    ගාලු මුවදොර හා හම්බන්තොට හෝටල් ව්‍යාපෘති දෙකක් සිදුකරමින් සිටින හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම ගාලු මුවදොරින් තවත් ඉඩමක් ඉල්ලා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමල් පෙරේරා මහතා අප සමග සිදුකළ විශේෂ සාකච්ඡාවේදී සඳහන් කළේ ෂැන්ග්‍රි-ලා සමාගම දැනට ගාලු මුවදොර හෝටල් ව්‍යාපෘතිය සිදුකරන ඉඩමට ආසන්න ඉඩමක් ඉල්ලා තිබෙන බවයි.

    “තවත් හෝටල් ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා ඒ අයම ඉල්ලල තිබෙනවා එම ඉඩම. ඒ පිළිබඳව තවමත් ස්ථීර තීරණයක් අරගෙන නෑ. ඒ අය කියල තිබෙනවා ඒ ඉඩම ගන්න කැමතියි කියල.“

    යනුවෙන් නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

    ගාලු මුවදොර ඉදිරිපිට ෂැන්ග්‍රි-ලා සමාගම විසින් ඉදිකරන හෝටලයේ පෙර සැලසුම වෙනස් කර කාමර 125 ක් පමණ අළුතින් එක්කර තිබෙන බවත් නව සැලසුමට අනුව හෝටලය ඉදිකරන ස්ථානය අසලින් ගමන් කරන අධි ධාරිතා විදුලි රැහැන් පවා ඉවත් කිරීමට සිදුව තිබෙන බවත් අප විසින් පසුගියදා අනාවරණය කළේය.

    මේ අනුව, සිදුකරන ආයෝජනය ඩොලර් මිලියන 450 ක් දක්වා ඉහළ දමා තිබේ.

    හෝටලයේ මූලික ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙන අතර හෝටලය විවෘත කිරීමට නියමිතව ඇත්තේ 2017 වසරේදීයි.

    මේ අතර, හම්බන්තොට ඉදිවෙමින් තිබෙන කාමර 375 කින් සමන්විත ෂැන්ග්‍රි-ලා හෝටලයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින අතර එය සැලසුම් කළ පරිදි ලබන වසරේ විවෘත කිරීමට නියමිතය.

    ෂැන්ග්‍රි-ලා සමාගම සිය සන්නාමය යටතේ ලොව පුරා හෝටල් 80 කට වැඩි ගණනක් කළමනාකරණය කරන අතර ඒවායේ කාමර 34,000 කට වැඩි ප්‍රමාණයක් තිබේ.