First Capital Treasuries අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ භාණ්ඩාගාර කළමනාකරණ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ තිදෙනෙක් එක්වෙති

    October, 7, 2026

    First Capital Holdings PLC සහ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත සමාගමක් වන First Capital Treasuries PLC හි සභාපති ලෙස චන්න ද සිල්වා මහතා පත් කර ඇති අතර, එහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස දුදීප රත්වත්තේ සහ නිරාන් මහවත්ත යන මහත්වරුන් පත් කර තිබේ. First Capital Treasuries PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පත් කිරීම් සිදුකර ඇත.

    මේ වන විට First Capital Treasuries සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී. මෙම ප්‍රගතිය හමුවේ සමාගමේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, භාණ්ඩාගාර කළමනාකරණය, මූල්‍ය වෙළෙඳපොළ, අවදානම් කළමනාකරණය සහ ආයතනික නායකත්වය වැනි ක්ෂේත්‍ර රැසක අත්දැකීම් ලැබූ මෙම ප්‍රවීණ වෘත්තිකයන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් First Capital Treasuries PLC හි සභාපතිනි මංජුලා මැතිව්ස් මහත්මිය මෙසේ පැවසුවාය:  “අත්දැකීම් බහුල ප්‍රවීණ වෘත්තිකයන් වන චන්න, දුදීප සහ නිරාන් යන මහත්වරුන්ගේ පත්වීම් මඟින් First Capital Treasuries හි මෙහෙයුම් තවදුරටත් පුළුල් වනවා. ඔවුන්ගේ දැනුම සහ පළපුරුද්ද, සමාගමේ ක්‍රමෝපායික ඉලක්ක ළඟා කර ගනිමින් එහි පාර්ශ්වකරුවන්ට දීර්ඝ කාලීන ප්‍රතිලාභ පිරිනැමීමට විශාල ශක්තියක් වේවි.”

    ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිට සභාපති තනතුරට උසස්වීම් ලැබූ  චන්න ද සිල්වා මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති ප්‍රවීණ වෘත්තිකයෙකි. ඔහු දැනට Sarvodaya Development Finance PLC හි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත. මීට පෙර Summit Finance PLC, Pan Asia Bank PLC සහ Delmege Group Limited යන සමාගම්වලද ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරා ඇති චන්න ද සිල්වා මහතා, Capital Media හි ආරම්භක සභාපතිවරයාද වේ.

    දුදීප රත්වත්තේ මහතා දශක දෙකක් පුරා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල භාණ්ඩාගාර කළමනාකරණය, වත්කම් හා වගකීම් කළමනාකරණය, මූල්‍ය වෙළෙඳපොළ සහ අවදානම් කළමනාකරණය යනාදී ක්ෂේත්‍ර රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන ඇත. ABN AMRO, Commercial Bank of Ceylon සහ Hatton National Bank යන ආයතනවල භාණ්ඩාගාර කළමනාකරණය සහ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇති ඔහු, ඕස්ට්‍රේලියාවේ අරමුදල් කළමනාකරණය සහ වත්කම් හා වගකීම් කළමනාකරණය සම්බන්ධ නායකත්ව තනතුරුද දරා තිබේ. එමෙන්ම ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (Derivatives), විදේශ විනිමය සහ පොලී අනුපාත අවදානම් කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳවද විශේෂඥ දැනුමක් ඔහු සතුය.

    නිරාන් මහවත්ත මහතා බැංකුකරණය, භාණ්ඩාගාර කළමනාකරණය, මූල්‍ය වෙළෙඳපොළ සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල වසර 30කට වැඩි අත්දැකීම් හිමි වෘත්තිකයෙකි. National Development Bank PLC හි උප සභාපති/භාණ්ඩාගාර ප්‍රධානී ලෙස ඒ මහතා වසර 17කට වැඩි කාලයක් විදේශ විනිමය, ණය වෙළෙඳපොළ, ද්‍රවශීලතාව, අරමුදල් සම්පාදනය සහ වෙළෙඳපොළ අවදානම යන ක්ෂේත්‍ර සම්බන්ධ වගකීම් දැරීය. මීට පෙර ඒ මහතා Deutsche Bank සහ Commercial Bank of Ceylon යන ආයතනවල භාණ්ඩාගාර කළමනාකරණය සහ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ තනතුරුද හොබවා ඇත.

    මෙම පත්වීම්වලින් අනතුරුව First Capital Treasuries PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පහත සඳහන් පරිදි වේ:

    සභාපති සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ චන්න ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී සහ ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂ සචිත් පෙරේරා, ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන මංජුලා මැතිව්ස්, දිල්ෂාන් වීරසේකර සහ මිනට් පෙරේරා සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය නිශාන් ද මෙල්, සිලානි විජේසිංහ, දුදීප රත්වත්තේ සහ නිරාන් මහවත්ත.