Forex Trading කළොත් නඩු

    October, 22, 2019

    අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පහත කරුණු සඳහන් කර සිටී.

    1. 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත.
    2. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් ප්‍රේෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත.
    3. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙඳාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත.
    4. එබැවින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.
    5. විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත.

    මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින් ලෙස මහජනතාවට තරයේ අවවාද කරනු ලබන බවයි.

    එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.