FOUNDATION.LK හි හිතවතී Teens Hub පුළුල් කිරීමේ ව්‍යාපෘතිය NPMEA 2026 සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි

    October, 22, 2026

    LK Domain Registry හි සමාජ සවිබල ගැන්වීමේ අංශය වන FOUNDATION.LK මඟින් දියත් කළ හිතවතී ටීන්ස් හබ් පුළුල් කිරීමේ (Hithawathi Teens Hub Expansion) ව්‍යාපෘතියට, ඉකුත්දා PMI කොළඹ ශාඛාව විසින් සංවිධානය කරන ලද 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, (NPMEA 2026) අභිමානවත් රන් සම්මානය හිමි විණි.

    මෙරට තරුණ පරපුරට සුරක්ෂිත ඩිජිටල් අවකාශයක් තැනීමට 'හිතවතී' දැක්වූ කැපවීම උදෙසා, ප්‍රජා සංවර්ධන/ රාජ්‍ය නොවන ආයතන අංශයේ විශිෂ්ටතම කළමනාකරණය සහිත ව්‍යාපෘතිය ලෙසින්, 13 වන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය. FOUNDATION.LK සහ හිතවතී සඳහා ලැබුණු මෙම ජයග්‍රහණය, හුදෙක් සම්මාන පිරිනැමීමකින් එහා ගිය සයිබර් ආරක්ෂාවේ සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ පණිවිඩය ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත වඩාත් ඵලදායි ලෙස රැගෙන යාමේ කැපවීම, රනින් පිදීමකි.

    මෙරට දරු පරපුර සුරක්ෂිත ඩිජිටල් ලෝකයක් දායාද කිරීමට මඟ පෙන්වන, FOUNDATION.LK මඟින් දියත් කරන 'හිතවතී', වගකීම් සහගත භාවිතයන් හරහා ඩිජිටල් අවකාශය කාන්තාවන් සහ ළමුන්ට ආරක්ෂිත අවකාශයක් බවට පත්කිරීම උදෙසා කැපවෙයි. ඒ අනුව,  දැනුවත් කිරීමේ සහය මෙන්ම, භාෂා තුනෙන්ම නොමිලේ ලබාදෙන සේවාව හරහා ඩිජිටල් මාධ්‍යය වඩාත් සුරක්ෂිතව, ආත්ම විශ්වාසයෙන් භාවිත කිරීමට අත්වැල සපයයි.

    "මෙය, FOUNDATION.LK වගේම, සමස්ත හිතවතී කණ්ඩායමටම ආඩම්බර විය හැකි මොහොතක්. Teens Hub වැඩසටහන සාර්ථකව පැවැත්වීමට අප හා එක්වුණු, අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන් හා සිසුන්ගේ සාමූහික ප්‍රයත්නයත් එයින් ඇගයීමට ලක් වෙනවා." යැයි FOUNDATION.LK හි ප්‍රධාන විධායක නිලධාරිනී නිරෝජා ජයවික්‍රම මහත්මිය සඳහන් කළාය.

    Hithawathi Teens Hub මුල්වරට නියමු ව්‍යාපෘතියක් ලෙසින් හඳුන්වාදෙනු ලැබුවේ, සිසුන්ට සයිබර් ආරක්ෂාව හා වගකීම් සහගත ඩිජිටල් හැසිරීම් ගැන දැනුවත්ව, එම දැනුම තම මිතුරන් හා බෙදාගැනීමට හැකියාව සලසන වැඩසටහනක් ලෙසිනි. එහි සාර්ථකත්වයෙන් අනතුරුව, LK Domain Registry හි වසම් ලේඛකාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතාගේ ඉල්ලීම අනුව, LK Domain Registry අනුග්‍රාහකත්වයෙන්, පාසල් රැසකම වැඩසටහන ව්‍යාප්ත කෙරිණි.

    ඩිජිටල් අවකාශයේ ආරක්ෂිතව, වගකීමෙන් කටයුතු කිරීම ප්‍රවර්ධනය සඳහා ගුරුවරුන් සහ සිසුන් සක්‍රීයව දායක කරගනිමින් ‘Teens Hub’ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. අධ්‍යාපන අමාත්‍යාංශය, කලාපීය අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ සෙසු පාර්ශ්වකරුවන් ඒකරාශි කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි. ආරම්භක සැලසුමේ පටන්, පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය, අවදානම් කළමනාකරණය, නිරන්තර අධීක්ෂණය සහ අවසන් කිරීම දක්වාම විධිමත්, ක්‍රමවත් ප්‍රවේශයක් අනුගමනය කිරීම හේතුවෙන්, මෙම වැඩසටහන අතිශයින් සාර්ථක විණි.

    2023 නොවැම්බර් සිට 2025 අප්‍රේල් දක්වා ක්‍රියාවට නැංවුණු Hithawathi Teens Hub Expansion ව්‍යාපෘතියෙන්, බදුල්ල, පස්සර හා ගලේවෙල අධ්‍යාපන කලාපවල අතිරේක පාසල් 29 ක Teens Hub ස්ථාපිත කරන ලදී. එහි ආරම්භක ව්‍යාපෘතිය වෙනුවෙන්, Meta හා The Asia Foundation අතර සහයෝගිතාවයෙන් දියත් වූ Resiliency Initiative මඟින් අරමුදල් සැපයිණි. එක් දැනුවත් කිරීමේ වැඩසටහනකින් පමණක් නතර නොවී, පාසල් පදනම් කරගත් තිරසාර සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයක් කරා යොමුවීම මෙම වැඩසටහනේ අරමුණයි.

    ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව ශක්තිමත් කරමින් වසර 12 ක් අඛණ්ඩ, කැපී පෙනෙන සේවාවක නිරත හිතවතී, දැනටමත් අන්තර්ජාල පරිශීලකයින් මිලියන 8.5 සංඛ්‍යාව පසුකර ඇති අතර, පුද්ගලයින් 23,500කට වැඩි පිරිසකට සහය සලසා ඇත. SLCERT, TechCERT, DP Education, Meta හා TikTok ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර ආයතන රැසක සහයෝගය ලබන Hithawathi දැනුවත් කිරීමේ වැඩසටහන් 1,250ක්, වෙබ් ලිපි 2,000ක් සහ වීඩියෝ 180ක් පමණ නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව උදෙසා කටයුතු කර තිබේ.

    FOUNDATION.LK යනු LK Domain Registry, ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ආයතනයකි. සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව හා විශ්වාසයෙන් කටයුතු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා හා සම්පත් දායාද කිරීම, වගකීම් සහගත ඩිජිටල් පුරවැසිභාවය ප්‍රචලිත කිරීම මෙන්ම නවතම ඩිජිටල් පද්ධති තුළ උපරිම අවස්ථා උදාකිරීම FOUNDATION.LK හි මෙහෙවරයි. 1990 දී පිහිටවන ලද LK Domain Registry, වසම් නාම ලියාපදිංචි කිරීමේ වෘත්තීමය සේවාව සලසන අතරම, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට ද දායක වෙයි.