ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින්

    October, 10, 2014

    ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතා කරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියක මිල ඩොලර් 100 කි.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන අයට පමණක් බවයි.

    මේ තුළින් උපයා ගන්නා මුදල් පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

    මෙම මෝටර් රථය 2015 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානම් වන අතර මෙම මෝටර් රථයේ රෝද ධාවනය කිරීම සඳහා ඉන්ධන කෝෂ (fuel-cell) මගින් උත්පාදනය කරන විදුලිය මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරයක් භාවිතා කරයි. මෙහිදී, විදුලිය උත්පාදනය කිරීම සඳහා හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව භාවිතා කරන අතර මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ලෙස පිට වන්නේ ජලයයි.

    ටොයොටා අනාවරණය කර තිබෙන පරිදි මෙම වාහනයේ ඇති හයිඩ්‍රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්‍රජන් වායුව පුරවා ගැනීමට හැකියැයි සඳහන්ය.

    මෙම තරගාවලිය කැලිෆෝනියා වැසියන්ට ලබාදී තිබෙන්නේ එහි හයිඩ්‍රජන් වායු පිරවුම්හල් තිබෙන හෙයිනි.