GSP+ සහනයෙන් පසු බෙල්ජියම සමඟ නව වෙළෙඳ සබඳතා

    January, 23, 2017

    GSP+ සහනය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ දැනට පවතින මිත්‍රශීලී ආයෝජන පරිසරය ප්‍රයෝජනයට ගනිමින් නව වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනිමට සියලු උත්සාහයන් දරන බවට බෙල්ජියම් රජය සහ යුරෝපා වෙළෙඳ සමාගම් ප්‍රධානීහු සහතික වී තිබේ. බෙල්ජියම් රජයේ නියෝජිතයින් සහ යුරෝපා වෙළෙඳ සමාගම් නියෝජිතයින් අතර බ්‍රසල්ස් හි පැවැති සාකච්ඡාවේ දී මෙම සහතිකය ලබා දුන් බව අමාත්‍යවරයා කියා සිටියි. ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, පසුගිය දා (20) මෙසේ බෙල්ජියමේ, බ්‍රසල්ස්හි නිල සංචාරයක නිරත විය.

    මෙම සංචාරය අතරතුර අමාත්‍යවරු දෙපළ බෙල්ජියම් සහ යුරෝපා වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ සාර්ථක, වට මේස සාකච්ජාවක නිරත වුහ. ෆ්ලෑන්ඩර්ස් වෙළෙඳ සහ ආයෝජන ආයතනය විසින් එම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

    යුරෝපා සංගමය විසින් GSP + සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දිමෙන් පසු ශ්‍රී ලංකාව සමඟ නව වෙළෙඳ සබදතා පුළුල් කර ගැනිමට උනන්දුවෙන් පසු වන බව බෙල්ජියම් සහ යුරෝපා වෙළෙඳ නියෝජිතයින් එහිදී ප්‍රකාශ කළේය.

    මෙම සංචාරයේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ යුරෝපා ආයෝජන බැංකුවේ උප සභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් (Andrew McDowella)මහතා අතර යුරෝ මිලියන 50ක් වූ මුල්‍ය ගිවිසුමකට ද අත්සන් තබන ලදී. යුරෝපා ආයෝජන බැංකු කාර්යාලයේ දී අත්සන් තැබුණු මෙම ගිවිසුමෙන්, මහ කොළඔ අප ජල කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවිමට නියමිතය.

    තවද බෙල්ජියම් මුදල් අමාත්‍ය යොහාන් වැන් ඔවටවෙල්(Johan van overtveldt) මහතා මුන ගැසුණු රවී කරුණානායක මහතා ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතුවලට අදාළව නිලධාරීන් පුහුණු කිරිම සඳහා බෙල්ජියමේ තාක්ෂණික සහය ලබා ගැනීම පිළිබඳවද සාකච්ජා කරන ලදී.

    මේ අතර බෙල්ජියම් හි විදේශ වෙළෙඳ කටයුතු සම්බන්ධ රාජ්‍ය ලේකම් පිටර් ද ක්‍රෙම් (Pieter De Crem )මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතර ද සාකච්ජාවක් පැවැත් විණි. බෙල්ජියම් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ඇමරිකානු ඩොලර් මිලියන 41.46 වටිනා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව මෙහිදී අවධානය යොමු විය. එම ව්‍යාපෘති අතර දුම්රිය පාලම් 07ක් ඉදිකිරීම හා මොනරාගල, බුත්තල ජල සම්පාදන ව්‍යාපෘතිය ද ඇතුළත් වේ.

    යුරෝපා සංගමය විසින් GSP + සහනය නැවත ලබා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දැනට පවතින මිත්‍රශීලී ආයෝජන පරිසරය ප්‍රයෝජනයට ගෙන ඉන් ප්‍රතිලාභ ලබා ගැනීමට බෙල්ජියම සිය උපරිම උත්සහයක් ගන්නා බව ද පීටර් ක්‍රෙම් මහතා එහි දී ප්‍රකාශ කළේ ය.

    බ්‍රසල්ස්හි නිල සංචාරය අතරතුර‍ රවී කරුණානායක මහතා සහ මලික් සමරවික්‍රම මහතා සංවර්ධන සහයෝගිතාව පිළිබඳ යුරෝපා කොමසාරිස් නෙවන් මෙමිකා මහතා (Neven Mimica) බෙල්ජියම් පිහිටි යුරෝපා සංගම් කාර්යාලයේදී හමුවිය. එහිදි යුරෝපා සංගමයේ අරමුදලින් මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව පුළුල්ව සාකච්ජාකරන ලදි. එම ව්‍යපෘති අතර මධ්‍යම හා ඌව පළාත් වල පානීය ජලය හා සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම තුළින් ජන ජීවිතය නගා සිටුවීමේ ග්‍රාමිය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

    අමාත්‍යවරු මෙහිදී ශ්‍රි ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති මෙන්ම හරිත බල ව්‍යාපෘති සංවර්ධනය සඳහා සහාය ලබා දෙන ලෙස බෙල්ජියම් රජයෙන් ඉල්ල සිටියහ. ඊට බෙල්ජියම් රජය යහපත් ප්‍රතිචර දැක් වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කීය. ඒ අනුව බෙල්ජියම් රජයේ විශේෂ දුත පිරිසක් නුදුරේදී ම ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතය. පසුගිය 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියම් හි සිදු කළ නිල සංචාරයේ දී සාකච්ජාවට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදි පසු විපරමක් සිදු කරන ලදී.මෙම සාකච්ජා සඳහා බෙල්ජියමේ ලක්සම්බර්ග් සහ යුරෝපා හවුලේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ද එක්ව සිටියේය.