GSP+ හරහා මත්ස්‍ය අපනයනයට 15% බදු සහනයක්

    January, 24, 2017

    GSP+ සහනය ලැබීමෙන් පසු, මෙරට මත්ස්‍ය අපනයනය සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    පසුගිය වසර තුනකට වඩා වැඩි කාලයක් මෙරටට GSP+ සහනය නොලැබීම නිසා, සමස්ත අපනයන ආදායම්හි විශාල පසුබෑමක් දක්නට සිදු වුණි. අපේක්ෂිත ආදායම් නොලැබීම නිසා රටේ ජාතික ආදායම මගින් සංවර්ධනය සඳහා වෙන්කරන මුදල් පවා අඩු කිරීමට රජයට සිදුවිය. කෙසේ වෙතත්, වර්තමාන රජය විසින් ජාත්‍යන්තරය තුළ රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධනයට පියවර ගත් නිසා ජාත්‍යන්තර ප්‍රජාව අප රට කෙරෙහි විශාල බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත්ව සිටිති. විශේෂයෙන් මානව හිමිකම් සුරකින රටක් වශයෙන් අපේ රටේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් ව තිබේ.

    එම නිසා මෙතෙක් අප රටට අහිමි කර තිබු GSP+ සහනය ලබා දීමට යුරෝපා ප්‍රජාව තීරණය කිරීමත් සමග ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොව, විශේෂයෙන් මත්ස්‍ය අපනයනයේ දී ද, විශාල වාසිදායක තත්ත්වයක් අප රටට ලැබී තිබේ. පසුගිය සතියේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් සමග GSP+ සහනය ලැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදී අවධාරණය වුයේ, අපේ රටේ මත්ස්‍ය සම්පත අපනයනයේ දී 15% බදු සහනයක් ලැබෙන බවත්, මත්ස්‍ය අපනයනය මගින් අප රටට විශාල ආදායමක් උපයා ගැනීම මෙන්ම, අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමට හැකි වන බවයි.

    පසුගිය වසරේ දී මෙරටින් විදේශ රටවලට මසුන් මෙට්‍රික් ටොන් 13,932ක් අපනයනය කර ඇති අතර, එමගින් අප රටට ලැබුනු ආදායම රුපියල් මිලියන 21,539කි. ඒ අතරින් යුරෝපා හවුලට අයත් රටවලට මෙට්‍රික් ටොන් 1817ක් ද, වෙනත් යුරෝපීය රටවලට මෙට්‍රික් ටොන් 515ක්ද, ඇමරිකා එක්සත් ජනපදයට මෙට්‍රික් ටොන් 4088ක්ද, ජපානයට මෙට්‍රික් ටොන් 1717ක් ද, වෙනත් රටවලට මෙට්‍රික් ටොන් 5796ක් ද අපනයනය කර තිබේ.

    ටූනා මසුන් අපනයනය ගත් විට 2016 වසරේදී මෙට්‍රික් ටොන් 7113ක් අපනයනය කර ඇත. එමගින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 11,243කි. අපනයනය කරන ලද මත්ස්‍ය තොග අනුව යුරෝපා හවුලට අයත් රටවලට මෙට්‍රික් ටොන් 1216ක් ද, වෙනත් යුරෝපීය රටවලට මෙට්‍රික් ටොන් 379ක් ද, ඇමරිකා එක්සත් ජනපදයට මෙට්‍රික් ටොන් 2498ක් ද, ජපානයට මෙට්‍රික් ටොන් 253ක් ද, වෙනත් රටවලට මෙට්‍රික් ටොන් 2767ක් ද වශයෙන් වේ.

    කෙසේ වුවද, මෙම 15%ක අපනයන බදු සහනය ලැබීම නිසා මත්ස්‍ය අපනයනය තවදුරටත් ඉහළ නැංවීම තුළින් රටට විශාල විදේශ විනිමයක් ප්‍රමාණයක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.