සිද්ධාලේප වෙදමහත්තයා සුපිරි හෝටලයකට සූදානම් වේ

    June, 16, 2014

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය විසින් ගල්කිස්ස ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක් ගොඩනැගීමට සූදානම් වනබව අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු, තුසිත් ද සිල්වා මහතා පැවසුවේ කාමර 98 කින් සමන්විත මෙම හෝටලය ගල්කිස්ස නගරයේ තිබෙන සුපිරි වෙළඳ සැල් සංකීර්ණයට යාබද පර්චස් 75 ක ඉඩමක ඉදිකරන බවයි.

    “මෙහි ඉදිකිරීම් ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ කරනවා. ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ 2016 වසරේදීයි. මේ සඳහා හෙට්ටිගොඩ සමූහය විසින් රුපියල් බිලියන 1.5 ක පමණ මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් තුසිත් ද සිල්වා මහතා පැවසීය.

    නාගරික හෝටලයක් (City Hotel) වන මෙම හෝටලය ඉදිකිරීම සඳහා හෙට්ටිගොඩ සමූහය විසින් හෙට්ටිගොඩ සිටි ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් නව සමාගමක් ඇතිකර තිබේ.

    “මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට මේ වනවිට අයදුම් කර තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා සියළුම මුදල් යොදවන්නේ හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය විසිනුයි.“

    යනුවෙන්ද තුසිත් ද සිල්වා මහතා පැවසීය.

    තට්ටු 08 කින් සමන්විතව නිර්මාණය කර තිබෙන මෙම හෝටලයේ පහළ තට්ටු දෙකේ සාප්පු සංකීර්ණයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

    හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය සතුව මේ වනවිට වාද්දූවේ කාමර 50 කින් යුක්ත හෝටලයක් තිබෙන අතර නව හෝටලය ගොඩනැගීමෙන් පසුව සමූහය සතු හෝටල් කාමර ප්‍රමාණය 148 ක් දක්වා ඉහළ නගී.