• Ada Derana BIZ Sinhala
  • HNB
  • HNB Finance PLC
  • sri lanaka

HNB Finance PLC අභියෝග ජයගනිමින් මූල්‍ය ස්ථාවරත්වයේ ප්‍රශස්ත වර්ධනයක් සනිටුහන් කරයි

June, 7, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ප්‍රධාන මූල්‍ය නිර්ණායකයන් හි ප්‍රශස්ත මූල්‍ය කාර්යසාධනයක් සනිටුහන් කරමින් HNB FINANCE හි 2021-22 වසරේ සමූහ ශුද්ධ ලාභය රුපියල් මිලියන 515.6ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. 2020 - 21 වසරේදී සිදු වූ පාඩු ලැබීමත්, 2022 මාර්තු 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ මුහුණ දුන් දැඩි සමාජ ආර්ථික අභියෝග රැසත් මධ්‍යයේ මෙම කැපී පෙනෙන වර්ධනය හිමිකර ගැනීමට HNB FINANCE සමත් වූ අතර, උපායමාර්ගික ව්‍යාපාර තීරණයක් ලෙස ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමද  අත්පත් කරගන්නා ලදී.

පසුගිය මූල්‍ය වර්ෂය තුළ සමූහ ශුද්ධ පොළී ආදායම සහ සමූහයේ මෙහෙයුම් ආදායම (Group Net Interest Income and Group Total Operating Income ) රුපියල් මිලියන 3,903.9ක් සහ රුපියල් මිලියන 4,929.9 ක් වූ අතර සමූහයේ බදු පෙර ලාභය (Profit Before Tax) රුපියල් මිලියන 615.9ක් විය.

සලකා බලනු ලැබූ කාලසීමාව තුළ HNB FINANCE හි සියලු ව්‍යාපාරික අංශයන් සැලකිය යුතු ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර පවතින ආර්ථික තත්වය තුළ ගැලපෙන පරිදි ණය සේවා පවත්වාගෙන යෑම සහ පිරිවැය උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීම යන ක්‍රියාමාර්ග මේ සඳහා හේතු විය.  පසුගිය මූල්‍ය වර්ෂය තුළ HNB FINANCE සමූහයෙහි ණය සහ තැන්පතු අනුපාතය (Loan-to-Deposit ratio) 123.36%ක් වශයෙන් වාර්තා වූ අතර ඉන් සමූහයේ ශක්තිමත් ද්‍රවශීල තත්වය (liquidity position) තවදුරටත් තහවුරු විය..

HNB FINANCE PLC මේ වන විට විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසකින් සමන්විත වන අතර ක්ෂුද්‍ර මූල්‍ය සේවා, ලීසිං, රන්ණය, දේපළ ණය හා ව්‍යාපාරික ණය මීට අයත් වෙයි.

“අභියෝග රාශියක් මධ්‍යයේ සෑම සේවා අංශයක්ම ආවරණය වන පරිද්දෙන්ම HNB FINANCE වාර්තා කළ මෙම මූල්‍ය කාර්යසාධනය සමාගමේ අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, අරමුණු කරා ගමන් කිරීමේ කැපවීම මනාව පෙන්නුම් කරන බව මගේ අදහසයි. විවිධාංගීකරණය වූ අපගේ මූල්‍ය සේවා සහ ප්‍රයිම් ෆිනෑන්ස් අත්පත් කර ගැනීමෙන් ලද සහසම්බන්ධතාද සමග වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. එමෙන්ම මෙරට විශාලතම පුද්ගලික බැංකුවක් වන HNB හි සවියත් , දේපළ වෙළෙඳාමේ ප්‍රමුඛයා වූ ප්‍රයිම් සමූහයේ අත්වැලත්  HNB FINANCE හි වර්ධන ගමන් මගේ අරමුණු ජය ගැනීමට විශාල ජවයක් සපයන බවට කිසිදු සැකයක් නැහැ” යනුවෙන් HNB FINANCE PLC හි සභාපති දිල්‍ෂාන් රොද්‍රිගෝ මහතා පැවසීය.

“අපගේ විවිධාංගීකරණය වූ ණය කළඹ නිසාම වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය තුළ ආයතනය ස්ථාවර තත්වයක පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා. තවදුරටත් අපගේ ප්‍රමුඛතම සේවාවන් වන ක්ෂුද්‍ර මූල්‍ය ණය , කුඩා හා මධ්‍ය පරිමාණ ණය, ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම අපි අඛණ්ඩව කරගෙන යනු ලබනවා. ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ එක් ප්‍රමුඛතම ගාමක බලයක් වන බැවින් කවර බාධක මධ්‍යයේ වූවද මෙම අංශයන්ට අවශ්‍ය මූල්‍යසේවා ලබා දීමට අපි අනිවාර්යයෙන්ම පියවර ගනු ලබනවා. එමෙන්ම මෙම ක්ෂේත්‍රයන්හි මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරිම, ව්‍යාපාරයන් යළි ගොඩ නැංවීම සහ ඔවුන්හට ඩිජිටල් සේවාවන් ඔස්සේ වඩාත් කාර්‍යක්ෂම සේවාවක් ලබාදීම ආදිය අපි මේ වනවිටත්  සිදුකරගෙන යමින් සිටිනවා”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

බහුතර කොටස් හිමියන්ගේ එකඟතාව මත මෙම වසරේ මැයි මාසය අවසන් වන විට ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීමට HNB FINANCE PLC සමත් වූ අතර  ප්‍රයිම් ෆිනෑන්ස් සතුව තිබූ ශාඛා 7 වර්තමානය වන විට HNB FINANCE ශාඛා ජාලයට එක් වී ඇත. මෙම අත්පත් කර ගැනීම සමගින් HNB FINANCE හි මුළු වත්කම් පදනම 2022 මාර්තු 31වන දිනට රුපියල් බිලියන 46.56ක් විය. මේ සමග ප්‍රයිම් ෆිනෑන්ස් හි වත්කම් මත පදනම් වූ ණය සංචිතය  HNB FINANCE හි ශේෂ පත්‍රයෙහි අවදානම් බෙදීම වඩාත් ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට සමත් වී ඇත. එමෙන්ම ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමේ දේපළ වත්කම් මත ණය ලබාදීමේ වෘත්තීයමය හසල පළපුරුද්දක් සහිත සේවක මණ්ඩලය HNB FINANCE හි මානව සම්පත් ශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වන අතර HNB FINANCE හි මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්‍රශස්ත මට්ටකට රැගෙන ඒමට උපකාරී වනු ඇත.