ICTA නව සභාපති ජයන්ත ද සිල්වා වැඩ භාර ගනී

    December, 23, 2019

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා වශයෙන් ජයන්ත ද සිල්වා මහතා එම ආයතනයේදී අද (23) වැඩ භාර ගත්තේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.

    මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇති ජයන්ත ද සිල්වා මහතා IFS SRI LANKA හි සම නිර්මාතෘ හා හිටපු සභාපතිවරයාද වේ.

    SLASSCOM සහ ශ්‍රී ලංකා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන ජයන්ත ද සිල්වා මහතා ක්ෂේත්‍රයේ දශක තුනහමාරකට වඩා පළපුරුද්දක් ඇත්තෙකි.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජකයෙකු වශයෙන්ද ජයන්ත ද සිල්වා මහතා වසර කිහිපයක් කටයුතු කර ඇත.

    සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත නව අධ්‍යක්ෂ මණ්ඩලක් ද පත් කර ඇති අතර එම සාමාජිකයින් වන්නේ හිටපු SLASSCOM සභාපතිවරයෙකු මෙන්ම 99X ටෙක්නොලිජි ප්‍රධාන විධායක මනෝ සේකරම්, WSO2 නිර්මාතෘ ආචාර්ය සංජීව වීරවර්ණ, SLIIT ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හිටපු ප්‍රධාන වීධායක නිලධාරී රෙෂාන් දේවපුර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ අංශයේ හිටපු අධ්‍යක්ෂ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය, SAP INDIA හි අලෙවි කළමණාකාර මනෝරි උනම්බුව යන මහත්ම මහත්මීන්ය.

    මෙම වැඩභාර ගැනීමේ අවස්ථාවට නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත්  මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සිටි අතර මෙහිදී එම පිරිස ඇමතූ අභිනව සභාපති ජයන්තද සිල්වා මහතා සදහන් කළේ  වත්මන් ජනාධිපතිතුමා   තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්යයක් ඉටුකළ හැකි ක්ෂේත්‍රයක් ලෙස හදුනාගෙන ඇති බවත්ය. එම නිසා  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙන බවත්  එමෙන්ම එය ඉටු කිරීමේ හැකි‍යාව ආයතනය සතු වන බවත්  හෙතෙම මෙහිදී  සදහන් කළේය.