ICTA විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මීළඟ පරපුරේ පුරවැසි සේවා භාෂණ තාක්ෂණ යටිතල ව්‍යුහයන් හඳුන්වා දෙයි

    February, 7, 2017

    සාමාන්‍යයෙන් පැය 6 සිට දින 2 ක් දක්වා වැය වූ සේවා ලබා දීම් සඳහා ගත වන කාලය මිනිත්තු 5 -15 දක්වා අඩු කෙරේ

    විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂ්‍යකරණ පද්ධතිය (electronic Document Attesting System - eDAS) හඳුන්වාදීම තුළින් ඩිජිටල් ලෙසින් සවිබලගැන්වුණු ජාතියක් නිර්මාණය කිරීම උදෙසා තවත් පියවරක් ඉදිරියට තැබීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගන්නා ලදී. මෙම හඳුන්වාදීම 2017 පෙබරවාරි 06 වැනි දින සිදුවිය. මේ අනුව මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය භාවිතයට ගැනීම තුළින් පුරවැසියන් හට සිය ලේඛන සාක්ෂ්‍යකරණය සහ සහතිකකරණය මිනිත්තු 5-15 අතර කාලසීමාවක දී සපුරා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත. ‍ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය තුළ ඒ වෙනුවෙන්ම කවුන්ටරයක් ස්ථාපිත කර තිබේ.

    https://www.youtube.com/watch?v=1A9CbY-q8SI

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ මෙම සේවාවන් ආරම්භය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. තවද මෙම අවස්ථාවට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ඇසල වීරකෝන්, විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය, ICTA හි සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් සහ ICTA හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කැනගේ යන මහත්ම මහත්මීන් ද එක්වූහ.

    මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය හඳුන්වාදීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ලිපිලේඛන සාක්ෂ්‍යකරණය සඳහා අනුගමනය කරන ලද්දේ අතින් කරනු ලබන කාර්යපටිපාටියකි. මේ හේතුවෙන් මහජනතාවට සිය ලේඛන ලබා ගැනීම සඳහා දින දෙකක කාලයක් වැය කිරීමට සිදුවිය. කෙසේ වෙතත් අලුතින් හඳුන්වාදෙන ලද මෙම නව තාක්ෂණික පද්ධතිය තුළින් මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් තුළ සිය ලේඛන ලබා ගැනීමට ජනතාවට අවකාශ සැලසෙනු ඇත. මෙහිදී ලිපිලේඛනවල සුරක්ෂිතතාව, සෙවීමේ හැකියාව, යහපාලනය හා විනිවිදභාවය තහවුරු කරලනු පිණිස අධිවේගී ස්කෑනර් යන්ත්‍ර හා වමිතික තහවුරුකරණය (Biometric Authentication) යනාදී නවීන තාක්ෂණික ක්‍රමවේද යොදා ගැණෙනු ඇත.

    තවද මෙම මධ්‍යස්ථානයේ සේවාවන් ලබා ගැනීමේ දී මහජනතාවට තවදුරටත් පෝළිම්වල කාලය මිඩංඟු කිරීමට සිදුනොවනු ඇත. එනම් සිය ජංගම දුරකතනය තුළින් වේලාවන් වෙන්කර ගැනීමට මෙකී නව තොරතුරු තාක්ෂණ පද්ධතිය සහාය ලබා දෙන අතර ඔවුන්ගේ ජංගම දුරකතන වෙතට අදාළ දැනුම්දීම් සිදුකිරීම ද ඒ හරහා සිදුවේ.

    රජයේ ක්ලවුඩ් පහසුකම් පද්ධතිය තුළින් ලබාදෙන තොරතුරු රාජ්‍ය පද්ධතිය හා සම්බන්ධ වීම මෙහිදී සිදුවේ. ඉදිරියේ දී මෙම පද්ධතිය සියලූම තානාපති කාර්යාලවලට ව්‍යාප්ත කිරීමට නියමිතය.

    මෙම හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කැනගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ‘‘ICTA හි දැක්ම වනුයේ ඩිජිටල් වශයෙන් පූර්ණ වූ සමාජයක් බිහිකිරීමයි. එහිදී රජයේ කාර්යයන් මහජනතාවට වඩාත් හිතෛෂී, කාර්යක්ෂම ආකාරයෙන් ලබා දීම ICTA අරමුණයි.“

    දෙනිකව සිය ලිපිලේඛන සාක්ෂ්‍යකරණය සහ සහතිකකරණය සඳහා 500 ක පමණ ජනතාවකට, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයය සිය සේවාවන් පිරිනමනවා. එහිදී දිනකට ලිපිලේඛන 1200-1500 ක ප්‍රමාණයක් පිරික්සීමට සහ තහවුරු කිරීමට සිදුවනු ඇත. එහෙත් මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය හඳුන්වාදීම තුළින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට මෙකී සේවාව වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙසින් ලබා දීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ අනුව සාමාන්‍ය ජනයාට මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයක දී එක් සේවා මේසයක දී මෙම ලිපිලේඛන ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව කොන්සියුලර අංශය වෙත පැමිණ සේවා ලබා ගැනීමේ දී ඒ වෙනුවෙන් කලින් වේලාවක් වෙන් කර ගැනීමට ද මෙම eDAS සේවාව හරහා ජනතාවට අවකාශ ලැබීම මෙහි ඇති තවත් එක් සුවිශේෂත්වයකි. තවද මෙම නව තොරතරු තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදීමත් සමඟම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරෙනු ඇත. එහිදී සේවා ලබා දීම වෙනුවෙන් යොදා ගන්නා යාන්ත්‍රණයේ කැපී පෙනෙන වෙනසක් සිදු වුවත් ඒ වෙනුවෙන් අයකරන ගාස්තු කිසිදු වෙනසක් සිදුනොවන බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතුවේ.

    ඩිජිටල් යුගයක් කරා යන ගමනේ තවත් එක් මංසළකුණක් සනිටුහන් කරන මෙම අවස්ථාවට එක්වීමට ලැබීම තමා ලද ගෞරවයක් බව, මෙම කොන්සියුලර් අංශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ගරු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. “අලුතෙන්ම හඳුන්වා දෙන ලද නව ඩිජිටල් පහසුකම් යටතේ වැඩිදියුණු කරන ලද සේවාවන් මහජනතාව වෙත ලබා දීමට අමාත්‍යංශය සූදානමින් සිටිනවා. පෙර දී ඇතැම් සේවාවන් ලබා දීමට පැය 5-6 ක පමණ කාලයක් ගතවුණා. සමහරක් අවස්ථාවල දී දින ගණන් ඒ සඳහා වැය වෙනවා. නමුත් සමස්ත සංවිධාන ව්‍යූහයම යළි මෙයාකාරයට සකස් කිරීම හරහා මිනිත්තු 5-15 ක කාලයක දී එම සේවාවන් ලබා දීමට දැන් පුළුවන්. ඇත්තවශයෙන්ම මෙය සුවිශේෂී සංදිස්ථානයක්.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආර්ථිකය ඩිජිටල්කරණය කරා යන ආණ්ඩුවේ වැඩපිළිවෙල සමඟින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව සහ ශ්‍රී ලංකාවේ සහ එහි වැසියන්ගේ අනාගතය සුරක්ෂිත බවට තහවුරු කිරීම සඳහා රජය ඇපකැප වී ඇති බවයි. මෙම සේවාවන් හඳුන්වාදීම වෙනුවෙන් ICTA වෙත සිය කෘතඥතාවය පළ කිරීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය. තවද සියලූම රජයේ සේවාවන් අර්ථදායක ලෙස වැඩිදියුණු කිරීම හරහා රටේ තිරසාර සංවර්ධනයක් ඇතිකරලීම පිණිස රජයේ කැපවීම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යළිත් වරක් අවධාරණය කළේය.

    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය තුළ ස්ථාපිත කරන ලද මෙම නව ඉ-ලේඛන සහතිකකරණ (eDcoument Attestation) සේවාව පිළිබඳ අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් ගනේගමආරච්චි මහතා කියා සිටියේ ඩිජිටල් වේදිකාවන් තුළින් රාජ්‍ය අංශයේ රේඛීය සම්බන්ධීකරණයක් හරහා ඵලදායී සේවාවන් ලබා දීම සම්බන්ධයෙන් මෙය ඉතා හොඳ උදාහරණයක් බවයි. “ඉ-ලේඛන සහතිකකරණ පද්ධතිය ඩිජිටල්මය වශයෙන් පාර්ශව ගණනාවක් සමඟ සම්බන්ධ වෙනවා. මහජනතාව, ශ්‍රී ලාංකීය හා විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙයන්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු පාර්ශව ගණනාවකටම මෙමඟින් ප්‍රතිලාභ හිමිවෙනවා. තවද කොන්සියුලර් අංශයේ මෙම ඩිජිටල් වේදිකාවට අදාළ පාර්ශව සමඟ තථ්‍ය කාලය (real-time) තුළ දීම සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවෙන නිසා ලේඛන සාක්ෂ්‍යකරණය සඳහා ගතවන කාලය විශාල වශයෙන් අඩුවෙනවා. එහිදී අදාළ කාර්ය අනුව ලේඛනයක් වෙනුවෙන් වැයවන කාලය පැය 5 සිට මිනිත්තු 15 ක් දක්වා අඩුවන බව කිව හැකියි. එසේම මෙම ඉලෙක්ට්‍රොනික සාක්ෂ්‍යකරණ ක්‍රියාවලිය නිසා සාක්ෂ්‍යකරණය කරන ලද ලේඛනවල විශ්වාසනීයත්වය ද ඉහළ ගොස් ඇති බව සඳහන් කරන්න පුළුවන්. මෙම විශ්වාසනීයත්වය ඉහළ යාම හරහා විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත කාර්යයන් හා නියෝජිතායතන කොන්සියුලර් සේවාවන් විගසින් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.“

    මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් මහත්මිය මෙසේ කියා සිටියාය. “මෙම නව හඳුන්වාදීමේ කොටස්කරුවකු වීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකනවා. මෙය පැහැදිලි වශයෙන්ම මහජන සේවාවන් ලබා දීමේ දී ඩිජිටල් පරිවර්තනයක් සිදුකිරීමේ දැඩි උත්සාහයේ සහ කැපවීමේ ප්‍රතිඵලයක්. මහජන සේවාවන් හි මීළඟ පරපුර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත දැන් පැමිණ තිබනෙවා. එහි ඉදිරි අනාගතය සම්බන්ධයෙන් අපට මහත් බලාපොරොත්තු තැබිය හැකියි. මේ වෙන්වෙනු කැප වූ ICTA හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සියලූම කණ්ඩායම්වලට මාගේ හෘදයාංගම සුභපැතුම් මා මෙහිදී එක්කර සිටිනවා. ඔවුන් ඉතා හොඳින් මේ දේ කළා.“

    මුහුන්තන් කැනගේ මහතා මෙහිදී සිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “ජාත්‍යන්තර සංවිධාන විසින් ලබා දෙන සේවාවන් මහජනතාව වෙත පිරිනැමීමේ දී රජය ඒ වෙනුවෙන් සූදානමින් සිටීම ඉතා වැදගත්. රාජ්‍ය සේවාවන් වඩාත් පහසු ආකාරයෙන් මහජනතාව වෙත ලබා දීමේ අපගේ දැක්ම අනුව යමින් රාජ්‍ය ආයතන වෙත මෙවැනි හඳුන්වාදීම සඳහා මානව සම්පත් හා තාක්ෂණික දැනුම හා සේවාවන් තවදුරටත් ලබා දීමට ICTA කටයුතු කරන බව මෙහිදී අවධාරණය කළ යුතුයි. මේ කාර්යය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගනේගමආරච්චි මහතාගෙන් හා ඔහුගේ කන්ඩායමෙන් ලද සහයෝගය පිළිබඳ අප ස්තුතිවන්ත වෙනවා“.

    ඩිජිටල්මය වශයෙන් පරිපූර්ණ සමාජයක් බිහිකිරීමේ දැක්ම අනුව යමින් ආර්ථික ඩිජිටල්කරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂිණ නියෝජිතායතනය විසින් මේ වන විට සාර්ථකව සිදුකර ගෙන යමින් තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති, පහසුතම් හා ක්‍රියාවං නැංවීමේ ප්‍රධාන ආයතනය වන්නේ ශ්‍රී ලංකා තොරතරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි.