ICTA Disrupt Asia 2018 තොරතුරු තාක්ෂණික ව්‍යවසායකයින්ගේ සමුළුව හා නවෝත්පාදන උළෙල අගෝස්තුවේ දී

    July, 25, 2018

    ව්‍යවසායකත්වය, ව්‍යාපාර සහ තාක්ෂණය පිළිබඳ ප්‍රවීනයින්ගෙන්  ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණික ආධුනිකයින්ට අනගි අවස්ථාවක්

    මෙරට 3 වන වතාවට පැවැත්වෙන ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයින්ගේ සම්මන්ත්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia 2018, අගෝස්තු 11 වන දින පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදි පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කෙරේ.
    ශ්‍රී ලංකා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්  සහ විදේශ රැකියා අමාත්‍යංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම වැඩසටහනෙහි ජාත්‍යන්තර පාර්ශවකරු (International Partner) ලෙස IKT Norge, දැනුම් පාර්ශවකරු (Knowledge Partner) ලෙස PwC, සහයෝගීතා පාර්ශවකරුවන් (Supporting Partner) ලෙස GIZ Sri Lanka සහ Trace - Expert City, ගෙවීම් පාර්ශවකරු (Payment Partner) ලෙස  PayHere, Volunteer Partner ලෙස GudPpl , ව්‍යවසාය පද්ධති පාර්ශවකරු (Eco System Partner) ලෙස  SLASSCOM, Makerspace ලෙස  Igniter Space, YouTube පාර්ශවකරු (You Tube Partner) ලෙස IdeaHell, සමාජ නවෝත්පාදන පාර්ශවකරු (Social Innovation Partner) ලෙස UNDP Sri Lanka, Creative Pavilion Partner ලෙස Gamer.lk සහ සත්කාරක පාර්ශවකරුවන් (Hosting partner) ලෙස Calcey Technologies, Orange Electric, WSO2 සහ CodeGen යන ආයතන සම්බන්ධ වෙයි.
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) හි දැඩි කැපවීම හේතුවෙන් Disrupt Asia 2018 ඉහළ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති  අතර ශ්‍රී ලංකාවේ මීළග පරපුරේ තොරතුරු තාක්ෂණික විශිෂ්ඨයින් දිරිගැන්වීම සඳහා එය මහත් පිටිවහලක් වනු ඇත. Disrupt Asia 2018 හී සෑම අංශයක්ම පාහේ සියලුම සහභාගිවන්නන්ට නවෝත්පාදන සහ  ව්‍යවසායකත්වය පිළිබඳ උද්යෝගයක් ඇති කරවන ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
    මෙම සමුළුව තුළදී  ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය පද්ධතියක අවශ්‍යතාව පිළිබඳ කරුනු අවධාරණය කෙරෙනු ඇති  අතර  ව්‍යවසායකයින් විසින් සිය සාර්ථකවීම්, අසාර්ථකවීම් පිළිබඳ අදහස් හුවමාරු කර ගනු ඇත. ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, සහ ඉන්දියාව වැනි රටවල විශේෂඥයින් AI, ඩිජිටල් අලෙවිකරණය  සහ ආරක්ෂාව, පිළිබඳ සිය දැනුම මෙහිදී හුවමාරු කර ගැනීමට නියමිත අතර  STEAM අධ්‍යාපනය, කලා ක්ෂේත්‍රයේ කර්මාන්ත සහ සමාජ ව්‍යවසායකත්වය ආදිය පිළිබඳව නව මුහුණුවරකින් බැලීමේ හැකියාව එතුළින් ලැඛෙනු ඇත. මෙහිදී නව ආයෝජකයින් බිහිකිරීම සඳහා අවශ්‍ය වන පදනම සැකසීම ද සිදු වනු ඇත.
    මෙහිදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පෙන්වා දුන්නේ පසුගිය වසරේ පැවති  Disrupt Asia හි ව්‍යවසායකත්වය පිළිබඳ විශ්ව විද්‍යාල ආචාරවරුන් සමඟ පැවති වැඩමුළුවක ප්‍රථිපලයක් වශයෙන් පාසැල් ගුරුවරුන් වෙත ''Educate to Innovate''  වැඩමුළු ICTA විසින් සංවිධානය කළ අතර විශ්ව විද්‍යාල පද්ධතිය තුළට  ව්‍යවසායකත්වය පිලිබඳ අදහස කාවැද්දීම සඳහා ''ImagineIF startup boot camp''  යනුවෙන් වැඩසටහන් පෙළක් පවත්වාගෙන යනු ලැබේ. තම කුසලතාවයන් සහ දක්ෂතාවයන් මැනවින් වටහා ගැනීමට උපකාර කරන මෙම වැඩපිලිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කලේය. පසුගිය වසරේ පැවැත්වූ තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයින්ගේ සම්මන්ත්‍රණයට මෙම වසරේදී නව මානයක් ගෙන එමින් නවෝත්පාදන උළෙලක් සංවිධානය කර ඇති අතර මෙය විවිධ ව්‍යාපාරික අභිමානයන් ඉස්මතු කිරීම සදහා වූ නිර්මාණශීලි වැඩපිලිවෙලක් බව ඒ මහතා තව දුරටත් පැවසීය.
    Disrupt Asia 2018  හි ''නවෝත්පාදන උළෙල'' ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීම සදහා හිමිවන සුවිශේෂි අවස්ථාවක් වන අතර මීට ඇතුළත් වන  කලා සහ ඩිජිටල් ක්‍රියාකාරකම් ඔස්සේ  මහජනතාවට ඒ පිළිබඳ දැනුවත් භාවයක් ලැබිය හැකිය. මීට අමතරව Disrupt Asia Start-up Expo හිදී තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නව නිෂ්පාදන ඉදිරිපත් කරමින් මෙම සමුළුව සඳහා සහභාගි වූ පිරිසට සහ නවෝත්පාදන උළෙලට එක්වූ පිරිසට සිය කුසලතාවන්  ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව හිමිවෙයි.
    ආයෝජකයින්ගේ සමුළුව තාක්ෂණික ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන වෘත්තිකයින් සඳහා පමණක්  වෙන් වෙන අතර මීට සහභාගිවන්නන්ට ශ්‍රී ලංකාවේ  තොරතුරු තාක්ෂණික ව්‍යවසාය පද්ධති පිළිබඳ වටිනා තොරතුරු ඇතුළත් හඳුන්වාදීමක් ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයෝජකයින් විසින් සිදුකරන අතර ව්‍යවසායකත්වයට අදාල මූල්‍යකරණය සහ නීතිමය ක්‍රියා පටිපාටිය පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් ද පවත්වයි. තව ද පසුගිය වසරේ පැවති Disrupt Asia හි පැවති ආයෝජකයින්ගේ සමුළුවේ දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් පත්කර ගැනුණු විශේෂ කණ්ඩායමක් වන ''Disrupt Asia ecosystem builder's forum'' ව්‍යවසාය පද්ධතියක් බිහිකරගැනීම සඳහා අවශ්‍ය අදහස් විමසිමේ ක්‍රියාවලියේදී ප්‍රධාන දායකයකු ලෙස කටයුතු කරයි.
    මෙම සමුළුව ප්‍රධාන අංශ 4ක් යටතේ පැවත්වෙන  අතර ප්‍රධාන වේදිකාව, දෙවන වේදිකාව, ආයෝජන සමුළුව සහ වැඩමුළු යන අංශ සියල්ලම එකිනෙකට සමගාමීව පැවැත්වෙයි. මේ අතරින් ප්‍රධාන වේදිකාවේ සමාරම්භය සනිටුහන් කරමින්  ප්‍රධාන දේශනය  XLr8 Andrah Pradesh Technology business Accelerator (University of Texas at Austin Extension) කළමනාකාර අධ්‍යක්ෂ ග්ලෙන් රොබින්සන් විසින් පැවැත්වීමට නියමිත වන අතර අවසන් දේශනය පවත්වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් හි ටැංගෝ ටැබ් හි සමාජ පරිවර්ථන අධ්‍යක්ෂ, නික් මැරීනෝ විසිනි.  දේශීය හා විදේශීය විද්වතුන් විසින් විවිධ මාතෘකා ඔස්සේ පවත්වන ඉදිරිපත් කිරීම් රැසක්  මෙහි අන්තර්ගතවන අතර Start-up Battle හි අවසාන වටය පැවැත්වීමට නියමිතය. Disrupt Asia 2018 නව නිපැයුම් තරගයේ සමාරම්භක තරගාවලියට ඉදිරිපත් වන ව්‍යවසායකයින් අතුරින් ප්‍රාථමික වටයේදී  තෝරාගත්  තිදෙනකු අවසන්  වටය සඳහා යොමු කෙරෙයි. මේ අතරින් අවසන් වටයේ ජයග්‍රාහකයින්ට මුදල් තෑගි හිමිවන අතර ඊට අමතරව ලබන සැප්තැම්බරයේ Oslo Innovation Week 2018 සඳහා සහභාගි වීමට ද අවස්ථාව සැලසෙයි. ආරම්භක තරගාවලිය සඳහා අයදුම් කිරීමට පිවිසෙන්න www.disruptasia.today/ startupbattle. එමෙන්ම මෙම සමුළුව සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා http://disruptasia.today/ buytickets/පිවිසෙන්න.