IFC හා ඕස්ට්‍රේලියානු රජය එක්ව මෙරට කාන්තාවන් 12000කගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය වෙයි

    November, 18, 2020

    දෙවසක් පුරා මෙරට ක්‍රියාත්මක වූ SheWorks Sri Lanka ව්‍යාපෘතිය හරහා එම කාලය තුළ මෙරට ප්‍රධානතම ව්‍යාපාර ආයතන 15ක සේවයේ නියුතු කාන්තා ප්‍රතිශතය සියයට 12කින් වර්ධනය වී ඇත. එනම් ගතවුණු දෙවසර තුළ එම ආයතනවල කාන්තා ශ්‍රම බලකාය 12,000ක් ඉක්මවා ගොස් තිබේ.
    SheWorks Sri Lanka යනු ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා ඕස්ට්‍රේලියානු රජය එක්ව කරනා Women in Work වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවුණු ව්‍යාපෘතියකි. මෙරට ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම සමානාත්මතාවයෙන් යුතු හා එක හා සමාන ගෞරවයකින් යුතු රැකියා පරිසරයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඵලදායීතාව හා වර්ධනය ඉහළ නැංවීම ද ඉලක්ක කෙරිණි.

    2018 මාර්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හේතුවෙන් අදාළ ආයතන මගින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පදනම් කරගනිමින් ධනාත්මක පියවර 97ක් ක්‍රියාවට නංවා තිබේ. ඒ කාන්තා ව්‍යාපාර නායකත්වය වර්ධනය කිරීම, කාන්තාවන් සේවයට බඳවාගැනීම හා ඔවුන් අඛණ්ඩව රඳවාගැනීම, ළමා රැකවරණය සඳහා කාර්යාලය ලබාදෙන සහාය වැඩිකිරීම, ලිංගික හිංසන වැළැක්වීමේ ක්‍රියාදාම හඳුන්වාදීම හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ට සහාය වීම යනාදිය ඉලක්ක කරගනිමිනි.

    ඊට අමතරව වැඩසටහනට සම්බන්ධ වූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර කාන්තා නියෝජනය ද තුනෙන් එකකින් වර්ධනය වී තිබීම කැපීපෙනේ. නායකත්ව තනතුරු හොබවන කාන්තා ප්‍රතිශතය ද සියයට 21කින් ඉහළ ගොස් තිබේ. තව ද ආයතන හයක මධ්‍යම මට්ටමේ කළමනාකාරීත්වය තුළ කාන්තා නියෝජනය සියයට 8 සිට සියයට 60 දක්වා පරාසයකට වර්ධනය වී ඇත.

    “සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යුතු වර්ධනයක් අත්පත් කරගැනීමේදී ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ට ලැබෙන අවස්ථාවන් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි. සමානාත්මතාවය හරහා ව්‍යාපාර ප්‍රතිඵල වර්ධනයට ලැබෙන ධනාත්මක බලපෑම පිළිබඳවත් SheWorks වැඩසටහන හරහා පිළිබිඹු වුණා. අනෙකුත් ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතනත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට වැඩි ඉඩක් ලබාදෙනු දැකීමට අපි අපේක්ෂා කරනවා” යැයි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථා නියෝජිතවරිය වන අමෙනා අරිෆ් මහත්මිය පැවසුවාය.

    ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය සියයට 34කි. එය ශ්‍රම බලකායේ පුරුෂ නියෝජනයෙන් අඩකටත් අඩු ප්‍රමාණයකි. එමෙන්ම වයස අවුරුදු 20-40ත් කාන්තාවන්ගේ ශ්‍රම බලකා නියෝජනය (පෞද්ගලික අංශය තුළ) සියයට 30ක් තරම් පහළ මට්ටමක පවතී. එම වයස් සීමාව තුළදී කාන්තාවන්ට විවාහය, ළමා රැකවරණය ආදී වගකීම් දැරීමට සිදුවීම මෙන්ම විවිධ ඍණාත්මක සමාජ ආකල්ප ඊට හේතුපාදක වී ඇති බව පෙනීයයි. මෙවන් පසුබිමක පුරුෂයින්ට මෙන්ම කාන්තාවන්ට ද සාර්ථකව කටයුතු කළ හැකි රැකියා පරිසරයක් නිර්මාණය වීම අත්‍යවශ්‍ය වේ.

    SheWorks හරහා ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී පුරුෂ දායකත්වයේ සුවිශේෂී වෙනසක් ඇතිකිරීමට හැකියාව ලැබුණා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන වර්ධනය වූ බව පෙනෙන්නට තිබෙනවා. අද වනවිට බොහෝ සමාගම්, ආයතන නායකත්ව තනතුරු ඇතුළු සාම්ප්‍රදායික නොවන සහ පුරුෂාධිපත්‍යට නතුව තිබුණු අවස්ථා කාන්තාවන්ට ලබාදීමට පියවර අරගෙන තිබෙනවා” යනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඬේවිඞ් හොලි මහතා පැවසීය. “මේ සමාගම් හරහා සමස්ත රටට ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් කදිම ආදර්ශයක් සැපයෙනවා” මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    සේවකයින් 170000කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් ඇඟලුම්, සංචාරක, තොරතුරු තාක්ෂණ, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය මෙන්ම ව්‍යාපාර සමූහ නියෝජනය කරන AIA ඉන්ෂුවරන්ස් ලංකා, බ්‍රැන්ඩික්ස් ලංකා, CBL සමූහය, ඩීමෝ, ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස්, හෙළ ක්ලෝතින්ග්, හේමාස් හෝල්ඩින්ස් " Jetwing, ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, London Stock Exchange සමූහය, MAS Holdings, ජාතික සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, South Asia Gateway Terminals සහ ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුව යන සමාගම් 15 SheWorks වැඩසටහනේ සාමාජිකත්වය දරයි.

    ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ප්‍රකාශනයක් ‘Sri Lankan Business Advance Gender Equality’ (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දායකත්වය) හරහා 2018 මාර්තු සිට 2019 දෙසැම්බර් දක්වා කාලය තුළ SheWorks Sri Lanka හවුල් ව්‍යාපෘතියෙන් සිදුවූ බලපෑම හා ව්‍යාපාර ප්‍රතිඵල පිළිබඳ විස්තරාත්මකව තොරතුරු දක්වා තිබේ.