IMF කිව්වට, වැඩ කළේ අපට අවශ්‍ය විදියටයි – මහ බැංකු අධිපති

    March, 24, 2017

    අද (24) දින සිට ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීම සඳහා මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ පැවසීය. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “අපි සාධක ගණනාවක් වෙත අවධානය යොමු කළා. උද්ධමනය, ගෙවුම් ශේෂය යනාදී වශයෙන්. මේ සියල්ල අවධානයට ගැනීමෙන් පසු මෙම තීරණය දැන් ක්‍රියත්මක කළේ නැත්නම් ඉදිරියේ දී උද්ධමනයේ ඉහළ යාමක් සිදුවිය හැති බවට අපට ඒත්තු ගියා. අපි මූල්‍ය ප්‍රතිපත්ති හදන්න යන්නේ ඉදිරිය බලලා. තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරලා අර්බුද අවස්ථා පැන නැඟුනාම පියවර ගන්නේ නැතුව, ඉදිරිය වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා තමයි මේ තීරණය ගත්තේ.“

    “මීට අමතරව බාහිර සාධක දෙසත් අපේ අවධානය යොමුවුණා. එක්සත් ජනපදයේ පොළී අනුපාතික ඉහළ යාම නිසා මෙරට තියෙන විදෙස් ආයෝජන එළියට යන්න පුළුවන්කමක් තියෙනවා. දැනට යන එකක් නැහැ. එසේම රට තුළට පැමිණෙන ආයෝජන අධෛර්යමත් වෙන්නත් පුළුවන්. මේ සියල්ල බලලා තමයි මේ තීරණය ගත්තේ.“

    “IMF එක කිව්වට අපි අපේ ආර්ථිකය විශ්ලේෂණය කරල බලලා තමයි මේ දේ කළේ. ඒ ගොල්ලෝ කරන්න කියපු සියල්ල අපි කරලා නැහැ. IMF සමඟ බොහෝ සාකච්ඡා කරලා, අපේ තර්ක ඉදිරිපත් කරලා මේ වන විට හොඳ තැනකට ඇවිල්ලා තිබෙනවා.“

    “අප්‍රේල් මාසයේ දී වොෂිංටන් යන කොට ගිවිසුමක් ගන්න පුළුවන් බවට මම හිතනවා. හැබැයි එය ක්‍රියාවට නංවන්නේ අපේ framework එක තුළයි. අපි framework එක දීලා තියෙනවා. ඒ ගොල්ලෝ මාසෙකට දෙකකට සැරයක් බලන්න එනවා. අපේ කටයුතු මේ වන විට හොඳට යනවා.“