IMF, USAID නියෝජිතයෝ ජනපති හමුවෙති

    September, 7, 2018

    සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජය ගැනීමේ ශ‍්‍රී ලංකා ජනපතිගේ වෑයමට තම පූර්ණ සහය ලබාදීමට සූදානම් බව ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයෝ පවසති.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එම නියෝජිතයන් අතර හමුවක් පසුගිය දා (05) ජනාධිපති නිල නිවසේ දී පැවැත්වුණු අතර එහිදී ඔවුහු මේ බව කියා සිටියහ.

    ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (KOICA) වැනි ප‍්‍රධාන ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියහ.

    දීර්ඝ කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා මෙම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඉදිරියේදී වඩාත් පුළුල් ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ එම සහයෝගිතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    රජය විසින් රට තුළ කි‍්‍රයාවට නංවා තිබෙන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිවයිනේ පළාත් නවයම එක සමාන සංවර්ධනයකට ගෙන එමින් රටේ සියලු ජනතාවට සංවර්ධනයේ සම ප‍්‍රතිලාභ ලබාදීම තම අරමුණ බවයි.

    යුද්ධය හේතුවෙන් විනාශයට පත් වූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙන යමින් එම ජනතාවට ද සංවර්ධන අයිතීන් ලබාදීම වෙනුවෙන් රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළේදී තවදුරටත් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනවල සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

    එමෙන්ම රටේ ජනතාවගේ දුගී භාවය තුරන් කිරීම වෙනුවෙන් දිළිඳුකම පිටුදැකීමේ වර්ෂයක් ද ප‍්‍රකාශයට පත් කරමින් රජය පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ද සියලු පාර්ශ්වයන්ගේ සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

    උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු 88‍% ක් මේ වන විට අවසන් කර තිබෙන අතර, ඉතිරි 12‍% ද කඩිනමින් සම්පූර්ණ විය යුතුය යන අරමුණ ඇතිව රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමට මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර පාලනය වෙනුවෙන් ද රජය විශේෂ අවධානයක් යොමු කර වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බව සඳහන් කළේය.

    රජය විසින් උතුරු නැගෙනහිර පළාත් තුළ කි‍්‍රයාවට නංවා තිබෙන මෙම සංවර්ධන කි‍්‍රයාදාමය සාර්ථක කර ගැනීමේ දී එහි සියලු දේශපාලන නියෝජිතයින්ගෙන් ලැබිය යුතු සහය ඉතා වැදගත් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම සියලුදෙනා එක්කර ගනිමින් සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජයග‍්‍රහණය කිරීම තම අපේක්ෂාව බව වැඩිදුරටත් කියා සිටියේය.

    අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ස්ථාපිත කළ කාර්යාලයේ අතුරු වාර්තාව ඊයේ තමා වෙත ලැබුණු බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එහි නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් ඉදිරියේ දී කැබිනට් අනුකමිටුවක් ද පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දැක්වීය.

    අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී මෙම නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

    එමෙන්ම වංචාවට සහ දූෂණයට වැට බඳිමින් පිරිසිදු රාජ්‍ය පාලනයක් ගොඩනැගීමේ රජයේ කැපවීම ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරින් ද මෙම හමුවට එක්ව සිටියහ.