“The Indian Ocean“ සමුළුවට හර්ෂ එක්වෙයි

    January, 11, 2017

    සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳවත් සාකච්ඡා කරයි

    සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යන ආයතනය (ISAS) විසින් සංවිධානය කළ “The Indian Ocean“ නැමති සමුළුවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 2017 ජනවාරි 09 වනදා ආරාධිත දේශනයක් සිදුකළ අතර එහි විද්වත් මණ්ඩල සාකච්ඡාව සඳහාද සහභාගී වී අදහස් දැක්වීය.

    මෙම අවස්ථාවට සහභාගී වූ අනිකුත් දේශකයින් අතර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිව්ශංකර් මෙනන් මහතාද කැපී පෙනේ.

    මෙහිදී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා “Sri Lanka's Role in the Indian Ocean and the Changing Global Dynamic” නැමති මාතෘකාව යටතේ අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ඓතිහාසික මෙන්ම නව වෙළඳ පාර්ශවකරුවන් සමග සම්බන්ධතාවයන් තරකර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි. මෙමගින් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කළාපයේ වෙළඳ සහ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට අදහස් කර ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

    මෙම සංචාරයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශයේ දෙවන ස්ථීර ලේකම්, Albert Chua මහතා සමග දෙරටේ විදේශ කටයුතු අමාත්‍යංශ දෙක අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා සිදු කළේය. මීට අමතරව, දෙරට අතර අත්සන් කිරීමට යෝජනා කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එරට වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නියෝජිතයින් සමග සාකච්ඡා කරන ලදී.