කොට්ටාව අධිවේගී නගරයට අවශ්‍ය ඉඩම් ගොඩකිරීමට ලංසු ඉල්ලයි

    May, 16, 2014

    කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීමට සූදානම් වන නවීන නගරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා තෝරාගෙන තිබෙන වෙල්යාය ඇතුළත් වගුරු බිම ගොඩකිරීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට ලබාදීමට සූදානම් වේ.

    මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “මෙම ඉඩම ගොඩකිරීම සඳහා අයකරන ගාස්තු අපි ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ඉල්ලා තිබෙනවා. එම තොරතුරු ලැබුණු විගසම මෙහි ගොඩකිරීමේ කටයුතු ආරම්භ කරනවා.“

    “ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට ඉඩම ගොඩ කිරීමේ කටයුතු ලබාදෙන්නේ එය නිසි ප්‍රමිතියකින් යුක්තව සිදු කිරීමටයි.“

    මෙම නව නගරය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අක්කර 25 ක ඉඩම පිහිටා තිබෙන්නේ දැනට පීසා හට් අවන්හල අසල තිබෙන වෙල්යාය සම්බන්ධ වන ලෙසයි. මෙහි අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ සඳහා බස් නැවතුම් පොළක් සහ සුපිරි වෙළඳ සංකීර්ණ, නිවාස සංකීර්ණ ඉදි කෙරෙන අතර රාජ්‍ය ආයතන කිහිපයක්ම මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබේ.

    ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම ස්ථානය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් දුම්රිය මාර්ගයද මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම මෙම සැලසුම් වලට අයත් බවයි.

    මීට අමතරව, මෙම නගරයේ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට තට්ටු දහයකට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකරන පුද්ගලික හා රජයේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමටද තීරණය කර ඇත.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අක්කර 05 ක භූමියක් වෙන්කිරීමට සැලසුම් කර තිබේ.