Laugfs Power කොටස් ගනුදෙනු ඇරඹෙයි. Laugfs Eco Sri හා Laugfs Leisure ඉදිරියේ දී කොටස් වෙළෙඳපොළට

    October, 30, 2019

    Laugfs සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Laugfs Power ලිමිටඩ් අද (30) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ ද්වීතියික කොටස් ගනුදෙනු ආරම්භ කරන ලදී. මේ වෙනුවෙන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා ලාෆ්ස් සමූහයේ විධායක  සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය, කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති රේ අබේවර්ධන ඇතුළු අමුත්තන් රැසක් එක්විය.

    මෙහිදී අද දෙරණ Biz වෙත අදහස් අදහස් දක්වමින් ලාෆ්ස් සමූහයේ විධායක සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ ඉදිරියේ දී තම සමූහයේ තවත් සමාගම් දෙකක් වන Laugfs Eco Sri හා Laugfs Leisure  සමාගම් ද කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා මේ වන විට ඉල්ලුම් කර ඇති බවයි.

    මෙහිදී අදහස් දැක්වූ ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා අද දෙරණ Biz වෙත මෙසේ පැවසීය.

    “අද ලාෆ්ස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන Laugfs Power සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කළා. ලංකාවේ සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන විශාලම ව්‍යාපාරය Laugfs Power සතුවෙනවා. ඒ වගේම ජලවිදුලි බලාගාර මේ යටතේ පවතිනවා. මේ සමාගම කෙටි කාලයක් තුළ විශාල ව්‍යාපාර ව්‍යාප්තියක් ලංකාව තුළ ඇති කරමින් ලංකාවේ බලශක්ති නිෂ්පාදනයට විශාල දායකත්වයක් දෙන සමාගමක්. අද ලෝකයේ පරිසරයත් සමඟ තිබෙන අභියෝග අනුව, ලෝකයේ හැම රටක්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, විශේෂයෙන්ම සුළං, සූර්ය බලය ඇතුළු බලශක්ති කෙරෙහි යොමුවෙමින් පවතිනවා. අපේ රටෙත් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට විවිධ සහයෝග රාජ්‍ය ප්‍රතිපත්තීන් විදියට පසුගිය රජයයන් යටතේ සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් අප සමාගම වැනි සමාගමක් විශාල ආයෝජනයක් කරලා මේ කර්තව්‍යයට යෙදිලා තියෙනවා.“

    “බලශක්තිය ඕනෑම රටක ආර්ථික සංවර්ධනයට ඉතාමත්ම වැදගත්. සූර්ය බලය අපිට නොමිලේ ලැබෙන දෙයක්. එයින් රටට කාර්යයන් දෙකක් සිදුවෙනවා. පොසිල ඉන්ධන, ඛනිජ තෙල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම අවම කිරීම පරිසරයට වගේම රටටත් ආර්ථිකයට වැදගත්. සූර්ය බලය අපට නොමිලේ ලැබෙන දෙයක්, එය වාසිදායක ව්‍යාපාරයක්. ඒ වගේම හොඳ සමාජ සත්කාරයක් එතුළින් වෙන නිසා අපි ඒ ව්‍යාපාරයේ යෙදිලා ඉන්නවා.“

    මේ අතර හඳුන්වාදීමේ ක්‍රමවේදය හරහා මෙම සමාගම ලැයිස්තුගත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලාෆ්ස් විධායක සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “මේ සමාගම තිබුණේ ලාෆ්ස් ගෑස් සමාගමේ අනුබද්ධ සමාගමක් හැටියට. අපි අවුරුදු කිහිපයකට කලින් එහි ප්‍රතිව්‍යූහගත කිරීමක් කළා. ඒ අවස්ථාවේ දී අපි ලාෆ්ස් ගෑස් සමාගමේ හිටපු කොටස්කරුවන්ට මේ සමාගමේ කොටස් ලබලා දුන්නා. ඒ හේතුවෙන් හඳුන්වා දීමේ ක්‍රමවේදය අනුව ලාෆ්ස් පවර් සමාගම ලැයිස්තුගත කළා.“

    තවද ඉදිරියේ දී ලාෆ්ස් සමූහයේ තවත් සමාගම් දෙකක් වන Laugfs Eco Sri හා Laugfs Leisure සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් ඉදිරි මාස කිහිපය ඇතුළත එම සමාගම් දෙක කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිත බවත් ලාෆ්ස් සමූහයේ විධායක සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා මෙහිදී අද දෙරණ Biz වෙත පැවසීය.

    මෙහිදී Laugfs Power ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 335 ක් හා ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් මිලියන 52 ක් ලැයිස්තුගත කෙරුණි. 2019 මාර්තු 31 දිනට Laugfs Power ලිමිටඩ් හි ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. බිලියන 1.88 ක් ලෙසින් සටහන් වේ.

    Laugfs Power ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස්වලින් 74.02% ක හිමිකාරීත්වය LAUGFS Holdings Limited සතුවන අතර එහි 17.28%ක හිමිකාරීත්වය සේවක අර්ථසාධක අරමුදල සතුව පවතී. එසේම ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්වලින් 34.69%ක හිමිකාරීත්වය ද සේවක අර්ථසාධක අරමුදල සතු වේ.