LK Domain Registry සමාගමේ අයිතිය ගැන කෝප් කමිටුවේ දී සාකච්ඡාවක්

    June, 13, 2022

    මොරටුව විශ්වවිද්‍යාලය යටතේ ආරම්භ කරන ලද එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රි (Lk Domain Registry) සමාගම පිළිබඳව පසුගිය (08) දා කෝප් කමිටුවේ දී සාකච්ඡාවට භාජනය වී තිබේ.

    2004.03.05 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලය සතු සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති මෙම සමාගමේ අයිතිය මේ වන විට විශ්වවිද්‍යාලයට අහිමිවීම පිළිබඳව මෙහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර කෝප් සභාපතිවරයා නිර්දේශ කළේ එල් කේ (.lk) ඩොමේන් රෙජිස්ට්‍රි සමාගම ජාතික වටිනාකමකින් යුත් ආයතනයක් ලෙස සලකා එහි අයිතිය නැවත මොරටුව විශ්වවිද්‍යාලයට ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

    මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය. මොරටුව විශ්ව විද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාදනය විමර්ශනය කිරිම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.