MAS හෝල්ඩින්ස් සහ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් Trail SL 2016 ට මුදල් ප්‍රදාන

    October, 4, 2016

    ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන MAS හෝල්ඩින්ස් සමාගම සහ මෙම වසරේ සිය 125 වැනි සංවත්සරය සමරන රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය Trail SL 2016 වැඩසටහනට සිය සහයෝගය ලබාදීමට තීරණය කර ඇත. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරන ලද අතර, මේ යටතේ MAS හෝල්ඩින්ස් සමාගම ඇමරිකානු ඩොලර් 100,000 ක දායකත්වයක් සමගින් ප්ලැටිනම් අනුග‍්‍රාහකයා ලෙස එක්වීමටත්, රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය රු. මිලියන 50 ක අරමුදලක් සමගින් මේ සඳහා දායක වීමටත් එකඟත්වය පළකර තිබේ. ඒ අනුව මෙම ප‍්‍රදානය මෙකී පාර්ශ්ව දෙකේ දායකත්වයන් වැඩසටහනට මෙතෙක් ලැබුණු විශාලතම දායකත්වය අතරට පත්වනු ඇත.

    පිළිකාවට එරෙහිව සමස්ත ශ‍්‍රී ලංකාවම ගෙනයන සටනට උරදීමක් වශයෙන් නාදන් සිවගනනාදන් සහ සරින්ද උනම්බුව යන මහත්වරුන් සහ Colors of Courage භාරය විසින් 2011 වසරේදී Trail වැඩසටහන ආරම්භ කරන ලදි. මෙම නව හවුල්කාරීත්වය අනාවරණය කරන ලද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සරින්ද උනම්බුව මහතා පවසා සිටියේ ප්ලැටිනම් අනුග‍්‍රාහක ලෙස මෙම ව්‍යාපෘතිය සමග එක්වීම ගැන සහ ව්‍යාපෘතියට දිගින් දිගටම සහයෝගය ලබාදීම ගැන තමන් MAS හෝල්ඩින්ස් සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වන බවයි. එමෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එක්වීම තමන් බෙහෙවින් අගය කරන බවද ඒ මහතා පැවසී ය. Trail වැඩසටහන වෙනුවෙන් මෙසේ සුවිශේෂී දායකත්වයක් දැක්වීමට ඉදිරිපත් වීම වෙනුවෙන් ඔහු මෙම අනුග‍්‍රහකයන්ට තම කෘතඥතාව පළකළේ ය.

    Trail වැඩසටහනේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ. එමෙන්ම Trail 2016 වැඩසටහනට සිය ආශීර්වාදය ලබාදී ඇති, MAS හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්ෂ අජේ අමලීන් මහතා මෙන්ම රාජකීය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එම සංගමයේ 125 වන සැමරුම් කමිටුවේ සභාපති මහේන් පෙරේරා, සංගමයේ ලේකම් අතුල මුණසිංහ, නියෝජ්‍ය ලේකම් මිතිල මෙන්ඩිස් සහ හිටපු ලේකම් මංජු ආරියරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

    https://www.youtube.com/watch?v=gBM8EyCAqpo

    2011 වසරේදී මුලින්ම ආරම්භ කරන ලද Trail වැඩසටහන එම වසරේදී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පාගමනක් දියත් කරන ලදි. දින 27 ක් පුරා පැවති මෙම පා ගමනට 30,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර 250,000 කට අධික පිරිසකගේ සහයෝගය ඇතිව ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක මුදලක් එක්රැස් කිරීමට වැඩසටහන සමත් විය. වැඩසටහනේ නිර්මාතෘවරුන්ගේ සිහිනය සැබෑවක් බවට පත්කරමින් 2014 ජනවාරි මාසයේදී තෙලිප්පලේ Trail පිළිකා රෝහල විවෘත කරන ලදි. මේ වනවිට එම රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 4,500 කට අධික ය.

    2011 වසරේදී ලද සාර්ථකත්වයෙන් දිරිමත් වෙමින් Trail නැවතත් මෙසේ පාගමනේ යෙදෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිළිකා ඒකකයක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් එක්රැුස් කිරීමේ අරමුණිනි. දින 28 ක කාලයක් තුළ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ගමන් කිරීමට නියමිත මෙම පා ගමන 2016 ඔක්තෝබර් 06 වනදා ආරම්භ වනු ඇත. පිළිකා වාට්ටුව ඉදිකිරීමේ අරමුණට අමතරව එය Colors of Courage භාරය සමග එක්වී රටේ ජනතාව අතර එකමුතුව සහ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකිරීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩයද අවධාරණය කරයි. Trail 2016 වැඩසටහනට සහභාගී වීමට උනන්දු වන අයට මුළු දුර ප‍්‍රමාණය ඇවිද යාම, පාගමනේ කොටසකට සහභාගී වීම හෝ අතථ්‍ය (Virtual) වශයෙන් සහභාගී වීම යන ක‍්‍රම වලින් තමන්ට පහසු ක‍්‍රමයක් තෝරාගත හැකි වේ.

    මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක වලින් පමණක් නොව බදුල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්ක වලින්ද රෝගීහු පැමිණෙති. මිලියන 6 කට අධික ජනතාවකට වෛද්‍ය සේවා සලසන මෙම රෝහල මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීමයි. මේ නිසා නව ගොඩනැගිල්ල ඉදිකිරීම රෝගීන්ට විශාල සහනයක් වනු ඇති අතර උපදේශන සේවා සහ පුනරුත්ථාපන සේවා ආදිය සඳහා මෙන්ම විකිරණ සහ ව්‍යාධිවේද රසායනාගාර සඳහාද මෙමගින් වැඩි ඉඩකඩක් හිමි වේ.

    ශ‍්‍රී ලංකාව තුළ පිළිකා උවදුර වේගයෙන් පැතිරෙමින් තිබෙන අතර එම අභියෝගයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සේවයට නිසි සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය ය. ඒ අනුව මෙම වැඩසටහනට නන් අයුරින් සහය දෙන අරමුදල් රැස් කරන්නන්, පරිත්‍යාගශීලීන්, අනුග‍්‍රාහකයන්, වෛද්‍යවරුන්, රෝහල් විශේෂඥයන් මෙන්ම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකා රජයද එම උදාර අරමුණෙහි කොටස්කරුවන් බවට පත්වී සිටිති. රට පුරා ජනතාව මෙසේ එක් අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගැනීමෙන් ලැබෙන මහඟු ප‍්‍රතිඵල Trail වැඩසටහන මගින් මනාව පිළිබිඹු වනු ඇත.

    මෙම මෙහෙවර සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන්ට Dialog text, Star Points හෝ eZ Cash යන ක‍්‍රමවලින් හෝ වැඩසටහනේ නිල වෙබ් අඩවිය වන අඅඅගඑර්සකිකගජදප වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ.

    වැඩිදුර විස්තර සඳහා කරුණාකර www.trailsl.com වෙබ් අඩවියට හෝ www.facebook.com/TrailSL/ ෆෙස්බුක් පිටුවට පිවිසෙන්න. ඔබේ මූල්‍යමය පරිත්‍යාගයන් හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංක 003010491671 (SWIFT CODE – HBLILKLX) යටතේ පවතින Colours of Courage Trust (Guarantee) Limited වෙත ද ඍජුව යොමු කළ හැක.