MCC ගැන හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    July, 1, 2020

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, MCC ආධාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    2006 දී, ඇමරිකා එක්සත් ජනපදයේ එම්සිසි (MCC) සමග ශ්‍රී ලංකාවට අහිතකර ගිවිසුමක්, මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වූවා යයි සමාජ මාධ්‍ය වල මේ දිනවල කතාවක් පැතිරෙන බව මා දැක ඇත.

    2004 දී, එම්සීසී (MCC) හරහා ඇමරිකා එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට යම් "ආධාර" ලබා දෙන්නට දහස් කර තිබූ බව සත්‍යයක් වන අතර, 2006 දී ඒ පිළිබඳව කරන ලද සාකච්ඡා සීමා වූයේ එම ආධාර යටතේ කුමන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුද යන්න පමණය.

    තවද, "විකිලීක්ස්" හරහා හෙළි වී ඇතැයි කියන ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති රොබට් ඕ' බ්ලේක් මහතාගේ පණිවිඩ අනුව, 2006 දී සාකච්ඡා වූවායැයි පැවසෙන ආධාර අංශ, 2019 දී යහපාලන රජය එකඟ වූ ආධාර අංශ වලට වඩා හාත්පසින්ම වෙනස් වූ බව ද පෙනී යයි.

    එමෙන්ම, 2006 දී එම එම්සීසී ගිවිසුමට අදාල කොන්දේසි පිළිබඳව සාකච්ඡා ද නොකරන ලදී.

    කෙසේ වුවත්, එවකට මහින්ද රාජපක්ෂ රජය අප රටට අහිතකර වන හෝ අවදානමක් මතු කරන කිසිදු කොන්දේසියකට එකඟ වීමට අදහස් නොකළ බව පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුය.