කොට්ටාව අධිවේගී නගරයට විදෙස් ආයෝජක ඇස. මහා පරිමාණ හෝටල් ඉදිකිරීමට යෝජනා දෙයි -video

    July, 28, 2014

    කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනැගීමට සූදානම් වන නව නගරයේ ඉදිකිරීමට යෝජිත හෝටල් දෙකෙන් එකක් ඉදිකිරීම සඳහා විදේශීය ආයෝජකයෙකු ව්‍යාපෘති යෝජනාවක් ලබාදී ඇතැයි අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම ආයෝජකයා විසින් ලබාදී ති‍බෙන ව්‍යාපෘති යෝජනාව මේ වනවිට සලකා බලමින් සිටින බවත් යෝජනාවේ සඳහන් වන ආකාරයට මෙය තට්ටු 25 කට වැඩි හෝටලයක් බවයි.

    මීට අමතරව, මෙම ආයෝජකයා විසින් මෙම නගරයේ නිවාස හා වාණිජ පහසුකම් ගොඩගැනීම සඳහාත් කැමැත්ත පළකර ඇත.

    “මෙම විදේශීය ආයෝජකයාට අමතරව, දේශීය ආයෝජකයින් කිහිප දෙනෙකුම මෙම නගරයේ පහසුකම් ගොඩනැගීමට ඉදිරිපත් වීමට විමසීම් කර තිබෙනවා. නගරයේ මූලික පහසුකම් නාගරික සංවර්ධන අධිකාරිය ගොඩනැගීමෙන් පසුව නගරය සංවර්ධනය කිරීම සඳහා පුද්ගලික ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.“

    යනුවෙන් නවරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    මෙම නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අක්කර 25 ක ඉඩමක් පවරාගෙන තිබෙන අතර මුලින්ම මෙහි බස් නැවතුම් පොළක් සහ දුම්රිය නැවතුම් පොළක් ඉදිකිරීමට සූදානම් වේ.
    කොට්ටාව, මාලපල්ල දුම්රිය ස්ථානය මෙම ස්ථානය දක්වා දීර්ඝ කරන බවත් මෙම ඉදිකිරීම් වලින් පසුව මෙම නගරය ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන බවත් නවරත්න මහත්මිය පැවසුවාය.

    නගරයේ හෝටල් වලට අමතරව, මධ්‍යම පාන්තිකයින් ඉලක්ක කළ නිවාස ව්‍යාපෘතියක්, සාප්පු සංකීර්ණ දෙකක්, වාහන නැවතීමේ අංගනයක්, පිහිනුම් තටාක හා විනෝදාස්වාද පහසුකම් මෙන්ම අවන්හල් පෙළක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.

    නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ තවත් මාස එකහ මාරකින් පමණ මෙම නගරය ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ගොඩකිරීම ආරම්භ කරන බවත් මුල් ඉදිකිරීම් සඳහා ජයිකා ආයතනය විසින් ණය ලබාදෙන බවයි.

    නගරයේ සැලසුම් වලට අනුව හයිලෙවල් මාර්ගය මෙම ස්ථානයේදී කනු මතින් උඩින් ඉදිකිරීමට තීරණය කර තිබේ.

    මීට අමතරව, දැනට කොස්වත්තේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා අක්කරයක ඉඩමක් වෙන්කර තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

    මීට අමතරව, රජයේ කාර්යාල හා පුද්ගලික කාර්යාල පිහිටුවීමට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමට වෙනමම කළාපයක් මෙම නගරයේ වෙන්කර ඇත. රජයෙන් කල්බදු පහසුකම් මත මෙම ඉඩම් ලබාගෙන පුද්ගලික අංශයට කාර්යාල සඳහා ගොඩනැගිලි ඉදිකළ හැකි අතර ඒවා තට්ටු දහයකට වඩා වැඩිවිය යුතුවේ.