Nomura විශ්ලේෂණය දෝෂ සහගතයි – මහ බැංකුව

    September, 19, 2018

    Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

    තවදුරටත් එම වාර්තාව උපුටා දක්වමින් එම මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශ ණය එක්සත් ජනපද ඩොලර් බිලියන 160ක් තරම් ඉහළ අගයක් ගන්නා බව සඳහන්  කරන ලදී.  ශ්‍රී ලංකාවේ විදේශ ණය කිසිසේත් ම මෙ වැනි අගයකට ළඟා වී නොමැති බැවින්, තම ගණනය කිරීම්හි සිදු වී ඇති වැරදි නිවැරදි කරන ලෙස Nomura ආයතනය වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා  ඇත.

    මෙයට ප්‍රතිචාර වශයෙන්, Bloomberg මාධ්‍ය ආයතනයට අනුව, ‘Damocles’ වාර්තාව නිවැරදි කර ශ්‍රී ලංකාවේ කෙටිකාලීන ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5ක් බවට නිවැරදි කිරීමට Nomura ආයතනය විසින් මාධ්‍ය වෙත විද්‍යුත් තැපැල් ප්‍රකාශයක් නිකුත් කර ඇත.  කෙසේ වෙතත්, Nomura විසින් ශ්‍රී ලංකාවේ Damocles අගය වෙනස් කර නොමැත.

    සංරචක 8ක් සහ එම සංරචක සඳහා වූ කඩඉම් අගයන්වලින් සැඳුම්ලත් Nomura ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරුණු  “Domocles Score”, දර්ශකයක් ගොඩ නැංවීමට ගත් සරල උත්සාහයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සලකයි. ඉදිරි කාලය තුළ රටක අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමේ හැකියාව දැක්වීමට Nomura ආයතනය විසින් මෙම අගය පදනම් කර ගනු ලබයි.  Nomura ආයතනයට අනුව මෙම දර්ශකය 100ට ඉහළ අගයක් ගැනීම මගින් ඉදිරි මාස 12ක කාලය තුළ විනිමය අනුපාතික අර්බුදයක් ඇති විය හැකි බව පෙන්වන අතර, එය 150 ඉහළ අගයක් ගැනීම මගින් ඕනෑ ම අවස්ථාවක එ වැනි අර්බුදයක් ඇති විය හැකි බව දක්වනු ලැබේ. ශ්‍රී ලංකාව සඳහා Nomura ආයතනය මගින් ගණනය කර දක්වා ඇති අගය 175ක් වුවත්, වර්තමානයේ දී දරුණු ආර්ථික හා මූල්‍ය අර්බුදවලට ලක් වී ඇති රටවල් සඳහා පහළ අගයක් දක්වා ඇත. මෙම ගණනය කිරීමේ ක්‍රමවේදයන්ට අනුව ආර්ජන්ටිනාව, තුර්කිය හා දකුණු අප්‍රිකාව වැනි බෙහෙවින් බැරෑරුම් ආර්ථික ගැටලුවලට මුහුණ පා ඇති ආර්ථිකයන් ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතින බව පෙන්වීම තුළින් වෙළෙඳපොළ තත්ත්වයන් සහ සිදුවීම් ප්‍රමාණවත් ලෙස මෙම දර්ශකය මගින් සලකා බලනු ලබන බව පෙන්නුම් නො කරන බව  ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි.

    Nomura Damocles දර්ශකයේ අගය සමීප ව නිරීක්ෂණය කිරීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එය 2013/14 වසරේ මාස කිහිපයක් හැර 2012 වසරේ සිට අඛණ්ඩ ව 100 මට්ටමට වඩා ඉහළින් පැවති බව දැක ගත හැකි ය.  ඇතැම් අවස්ථාවල දී, එම අගය ඉහළ සීමාව වන 200 කරා ද ළඟා වී ඇත. එම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, මෙම ප්‍රාථමික දර්ශකය අර්බුදයක් පිළිබඳ ව අඟවන හෝ පුරෝකථනය කරන දර්ශකයක් ලෙස සැලකිය නො හැක.  එයට හේතුව නම්, ආර්ජන්ටිනාව හා තුර්කිය වැනි රටවල්වලට වඩා ඉහළ අවදානමකින් යුත් රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කිරීමේ දී, මෙම දර්ශකය මගින් අදාළ රට සීමා අගයන්ගෙන් කොතරම් අපගමනය වී ඇත් ද යන්න හෝ රටට විශේෂිත තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු නො වී ඇති බැවිනි. උදාහරණයක් ලෙස, Nomura විශ්ලේෂණයේ, අපනයන සහ කෙටි කාලීන විදේශ ණය අතර ඇති අනුපාතය තුළ භාණ්ඩ අපනයන පමණක් අන්තර්ගත කර ඇත. සංචාරක ඉපැයීම් ඇතුළු සේවා අංශය හා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ  මේ සඳහා ඇතුළත් කර නොමැත.  ජංගම ගිණුමේ සියලු ම ලැබීම් පිළිබඳ ව අවධානය යොමු නො කිරීමෙන්, රටේ අවදානම් සහගත බව අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.  තව ද, පුළුල් මුදල් සහ විදේශ සංචිත අතර අනුපාතය සලකා බලන විට  මෑත කාලයේ දී පුළුල් මුදල් ඉහළ යෑම සඳහා හේතු වී ඇත්තේ බැංකු පද්ධතිය තුළ පවතින ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඉහළ යෑම වන අතර, එ මගින් රටේ විදේශීය අංශයේ අවදානම අඩු වී ඇත.  ශ්‍රී ලංකාවේ කෙටි කාලීන මූර්ත පොලී අනුපාතික දර්ශකය ද Nomura කොරිඩෝවට සාපේක්ෂ ව සුළු වශයෙන් ඉහළින් පවතී.  මේ සඳහා පොලී අනුපාතික ඉහළ යෑමට වඩා හේතු වී ඇත්තේ උද්ධමනය පහළ යෑමයි. මෙම උදාහරණ මගින් Nomura විශ්ලේෂණයේ දී භාවිත කර ඇති ක්‍රමවේදයේ නො මග යවන සුළු බව පැහැදිලි වේ.

    ශ්‍රී ලංකාවේ කෙටි කාලීන විදේශ ණය ප්‍රමාණය හා සම්බන්ධ ව Nomura විශ්ලේෂණයේ දෝෂ සහගත තත්ත්වය මගින් ම අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර එම වාර්තාව සමීප ව සමාලෝචනය කර නොමැති බව පෙනී යයි.  තව ද, එක්සත් ජනපද ඩොලර් බිලියන 90ක් පමණ වන දළ දේශීය නිෂ්පාදිතයක් සහ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.6ක් පමණ වන දළ නිල සංචිත ඇති ආර්ථිකයක, එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5ක සහ එක්සත් ජනපද ඩොලර් බිලියන 160ක කෙටි කාලීන විදේශ ණය වෙන් කර දැක්විය නො හැකි දර්ශකයක පුරෝකථනය මත පදනම් වූ විශ්ලේෂණයක නිරවද්‍යතාව ගැටලු සහගත වේ.

    එ බැවින්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වාතාවරණය හා ආර්ථිකයේ ශක්‍යතාව සම්බන්ධ ව දැනුම්වත් වීමෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ ව තම මතය ගොඩනගා ගන්නා ලෙස ආයෝජකයන්ගෙන් සහ පොදු ජනතාවගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටියි.