August, 22, 2022
පසුගිය දින කිහිපය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් හි යම් පහළ යාමක් වාර්තා වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ විවෘත ගිණුම් (Open Accounts) හරහා භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දීම බව කියැවිණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, එසේ භාණ්ඩ මිල පහළ යාමක් වාර්තා වූයේ විවෘත ගිණුම් නිසා නොව ගන්නා ලද ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි. එසේම විවෘත ගිණුම් තහනම් කිරීමට යෝජනා කරන බවද අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පසුගිය 18 දා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේ දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ දී භාණ්ඩ මිල අඩුවීමට හේතුව විවෘත ගිණුම් හරහා ආනයනය කිරීම නිසා නෙමයි. ඒක මම පැහැදිලිව පිළිගන්න දෙයක් නෙමෙයි. මේ අඩුවීමට අපි දකින විදියට හේතුව විදේශ විනිමය අනුපාතිකය යම් ස්ථාවරව තබා ගැනීම.
Open Accounts යම්කිසි ආකාරයකට සීමා කරපු නිසා ඒකෙන් උන්ඩියල්, හවාලා ක්‍රමයට මුදල් යැවීම අඩු වීම නිසා හවාලා, උන්ඩියල් ක්‍රමයෙන් යන වියදම අඩුවෙලා තිබෙනවා. එතකොට Open Accounts වලින් යම්කිසි ආකාරයකට යම්කිසි අවස්ථාවක ගෙන්වන අයෙකුට වුණත් ඒගොල්ලන්ගේ විනිමය අනුපාතය අඩුවෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදියට අඩුවෙලා තියෙන්නේ.
දැන් තියෙන තත්ත්වය අනුව ඉදිරියට යන කොටත්, අපි යෝජනා කරලා තියෙනවා Open Accounts තහනම් කරන්න කියලා. ළඟදීම ඒ චක්‍රලේඛය නිකුත් කරයි. එසේ කළාම අත්‍යාවශ්‍ය දේ සඳහා අවශ්‍ය නම් බැංකු ක්‍රමය තුළින් මුදල් සපයන්න පුළුවන්. Open Accounts කියන එක අවශ්‍යම නැහැ.
බඩු මිල අඩුවීමට හේතුව අනෙකුත් ගන්නා ලද ප්‍රතිපත්ති රාශිකය ප්‍රතිඵල මිස Open Accounts නිසා නෙමයි. යම් යම් වෙළෙඳුන් පෙන්වන්න උත්සාහ කරනවා ඒක නිසා බඩු මිල අඩු වුණා කියලා. ඒක නිසා නෙමෙයි ඇත්තටම අඩු වුණේ. අනෙකුත් ප්‍රතිපත්ති නිසා අඩුවුණේ. ඒක දිගටම පවත්වා ගෙන යන්න පුළුවන්.
Video Story