Peace Expo & Colombo Food Fest 2019 දෙසැම්බර් 14 සහ 15 කොළඹ දී

    December, 12, 2019

    මානව හිමිකම් ඇතුළු ගෝලීය ඉලක්ක දේශියකරණය කොට ඉදිරියට ‍ගෙනයාම ඉලක්ක කරගත් වැඩසටහනක්

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ අරමුණින් සහ මානව හිමිකම් දිනය සැමරී‍මේ අරමුණින් සංවිධානය කෙරෙන PEACE EXPO & COLOMBO FOOD FEST 2019 මෙවර දෙසැම්බර් 14 සහ 15 යන දිනවලදී කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන තරුණ සංවිධානයක් වන The Road to Rights සංවිධානය විසින් මෙම  PEACE EXPO & COLOMBO FOOD FEST 2019 සංවිධානය කරනු ලබයි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන  තිරසර සංවර්ධන ඉලක්ක දේශියකරණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදරිපත් වන සියලු පාර්ශව එක් ස්ථානයකට එක්රැස් කරමින් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක සහ ඒ හා බැඳුනු ප්‍රජා ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන සාකච්ඡා සභාවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතය. මීට අමතරව මෙම තිරසර සංවර්ධන ඉලක්ක සඳහා කීර්තිමත් තානාපති වරුන්  පත්කිරීමට ද The Road to Rights සැලසුම් කර ඇති අතර එම ජනප්‍රිය චරිත යොදාගනිමින්  තිරසර සංවර්ධන ඉලක්ක 17  ජනතාව අතරට ගෙනයාමට නියමිතය.  ජනතාවගේ ආදරය දිනූ මෙම තානාපතිවරුන් ලවා තිරසර සංවර්ධන ඉලක්ක ජනතාව වෙත ඉදිරිපත් කිරීම මඟින් ඒවා පිළිබඳව වැඩි වශයෙන් ජනතා අවධානය ලබාගැනීමටත් ඒ ඔස්සේ  ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

    Peace Expo 2019 ට සමගාමීව පැවැත්වෙන ආහාර පාන සැණකෙළිය සඳහා විවිධ වර්ගවල ආහාර අලෙවිකරුවන්, අවන්හල් සහ හෝටල  රැසක් සහභාගි වෙයි.  මෙම ආහාර සැණකෙළිය මඟින් ලැබෙන ආදායම   Road to Rights තරුණ සංවිධානයේ ඉදිරි ව්‍යාපෘති සඳහා යොදාගැනීමට අපේක්ෂා කරයි.  මෙම අරමුදල්   www.roadtorights.org වෙබ් අඩවියේ දැක්වෙන ව්‍යාපෘති සඳහා සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාකාරී ව්‍යාපාරයේ දැක්වෙන ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට අපේක්ෂිතය.

    මෙම වැඩසටහන පිළිබද අදහස් දැක්වූ Road to Rights හි නිර්මාතෘ අශාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේ  තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව  මෙරට තරුණ පරපුර   දැනුවත් කිරීමට, නව සබඳතා ගොඩනඟාගැනීමට, අනුග්‍රාහකයින් සහ ස්වේච්ඡා නියෝජිතයින්ගේ ශක්තීන් හදුනා ගැනීමට මෙන්ම එම ක්ෂේත්‍රයට අදාළ සියලුම පාර්ශව වල දැනුම  ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.

    තිරසර සංවර්ධන ඉලක්ක මූලික කරගත් මෙැවනි තරුණ මැදිහත්වීමක් සිදුකළ මුල්ම රට වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව  ලෝක සිතියමේ සටහන් වන බව  පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ  සියලුම රාජ්‍ය නොවන සංවිධාන,ලාභ නොලබන සංවිධාන, ප්‍රජා සමාජ වගකීම්, තරුණ ක්‍රියාකාරී කණ්ඩායම් එකම තලයකට ගෙනෙමින් මෙම සමාජයිය වෙනස පිළිබිඹු කිරීමට හැකිවීම  Road to Rights  ලද සුවිශේෂි ජයග්‍රහණයක් බවයි.

    ගැටුම්, සාමය ගොඩනැගීම, සහ ප්‍රතිසන්ධානය යන වචන වර්තමාන තාරුණ්‍යයට කටපාඩම් වචන පමණක් වන බව පෙන්වා දුන් අශාන් පෙරේරා මහතා කියා සිටියේ  මෙවැනි වැඩසටහන් මඟින් තරුණ ප්‍රජාවට  සාමය සහ ප්‍රති සන්ධානය  පිළිබඳව වන කතිකාවත සඳහා ප්‍රායෝගිකව මැදිහත් වීමට  අවකාශ නිර්මාණය වන බවයි. විවිධ  රාජ්‍ය නොවන සංවිධාන, ලාභ නොලබන සංවිධාන, ප්‍රජා සමාජ වගකීම් වැඩසටහන්  සහ ‍‍වෙනත් මානුෂිය ව්‍යාපෘති වලදී  තරුණ දායකත්වය ඉහළ නැංවීම මෙහි අපේක්ෂාව වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.  සාමය සහ ප්‍රතිසන්ධානය, තිරසර සංවර්ධන ඉලක්ක, ආදී කරුනු පදනම් කරගත් තම ක්‍රියාකාරකම්  තරුණ සහ අදාළ වෘත්තිය‍වේදීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ ප්‍රවීණයින් වෙත ඉදිරිපත් කිරීමට තරුණ ප්‍රජාව වෙත මෙහිදී අවස්ථාව හිමිවන බවද අශාන්  පෙර්රා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    2009 වසරේදී ශ්‍රී ලංකාවෙ ක්‍රියාත්මක කරන  ලද  Road to Rights සංවිධානය මෙරට  සම්මානනීය  තරුණ සංවිධානයකි.   විවිධ අවස්ථා, කුසලතා සංවර්ධන, නිර්මාණශීලිත්වය, සහ නව නිපැයුම් අතින්   මෙරට තරුණ ප්‍රජාව සවිබලගැන්වීම සඳහා වන වැඩසටහන් රැසක නිරත මෙම සංවිධානය මානව හිමිකම් ඔස්සේ සාමය සහ තිරසර සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වෙයි.

    ඡායාරූපය - (වමේ සිට )  Reforms Through Education  හි නිර්මාතෘ  බෘස් ෆර්ගර්සන්  මහතා,  ශ්‍රී ලංකාවෙ  දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ගරු රොබිනා එම් මාර්ක්ස් මැතිනිය,  The Road to Rights සංවිධානයේ නිර්මාතෘ  අශාන් පෙරෙරා මහතා,  The Road to Rights ජාත්‍යන්තර  සන්නාම තානාපති  ප්‍රවිණ නළු සාරංග දිසාසේකර මහතා, සහ බර්නාඩීන් ජයසිංහ