Plugs සහ Socket Outlets සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියක් ලබාදීමට කැබිනට් අනුමැතිය

    August, 23, 2016

    විවිධ වර්ගයේ පේනු (ප්ල්ග්) හා කෙවෙනි (සොකට්), ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ, ඇඩැප්ටර හා විහිදුම් රැහැන් භාවිතය විදුලි සැර වැදීම්වලට හා ගිනි ගැනීම්වලට හේතු වූ ප්‍රධාන සාධක ලෙස හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මහජනතාව, වෘත්තිකයන් හා අදාළ ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අදහස් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරෙන පේනු හා කෙවෙනි පිටවුම් සඳහා ජාත්‍යන්තරව පිළිගත් G වර්ගය එකම ප්‍රමිතිය වශයෙන් මින් ඉදිරියට යොදා ගැනීමටත්, දැනට ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරෙන හා ඉදිරි වසර දෙකක (02) කාලය තුළ අලෙවි කරනු ලබන මෙම ප්‍රමිතියට අයත් නොවන පේනු, කෙවෙනි සහ සියලුම වයරින් ඒවායේ ජීව කාලය අවසන් වන තුරු පවත්වාගෙන යාමට ඉඩ සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන අනුව විදුලිබලය උත්පාදනයේදී, සම්ප්‍රේෂණයේදී, බෙදාහැරීමේදී, සැපයීමේදී හෝ භාවිතයේදී උද්ගත විය හැකි අනතුරුවලින් මහජනතාව ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කටයුතු කිරීම අවශ්‍ය වේ.

    හදිසි විදුලි සැර වැදීම් හේතුවෙන් 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 180ක් වූ අතර, අන්තර්ජාතික දර්ශකයන් හා සැසඳීමේදී එම සංඛ්‍යාව ඉතා ඉහළ සංඛ්‍යාවක් වේ. 2020 වර්ෂය වන විට විදුලිසැර වැදීම හේතුවෙන් මිය යන සංඛ්‍යාව හැකිතාක් දුරට අඩු කරගැනීම පිණිස විවිධ දැනුම්වත් කිරීමේ වැඩසටහන් හා සෘජු මැදිහත්වීම් රැසක් කොමිසම විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇත. ඒ අනුව, හදිසි විදුලිසැර වැදීම් හේතුවෙන් 2015 වර්ෂය තුළ මිය ගිය සංඛ්‍යාව 77 දක්වා අඩු කරගැනීමට හැකි වී ඇත.