ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල 10 ක්

    April, 22, 2014

    රජය විසින් මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම සඳහා මේ වනවිට අවසර ලබාදී තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් අප සමග පැවසුවේ 2020 වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල 10 ක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවයි.

    “අපේ සැලසුම තමයි 2020 වනවිට මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල 10 ක් ආරම්භ කිරීම. ඒ වනවිට, මෙම විශ්ව විද්‍යාලවල විදේශීය සිසුන් 50,000 ක් පමණ අධ්‍යන කටයුතුවල නිරත වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

    මෙම විදේශීය විශ්ව විද්‍යාල හම්බන්තොට, ගම්පහ, දෙනියාය, මහනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ඉදිකිරීම සඳහා යෝජනා ඉදිරිපත්වී ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙරට ශාඛා ආරම්භ කිරීමට විදේශීය විශ්ව විද්‍යාල බොහෝ ගණනක් ඉල්ලුම් කර තිබෙන බවත් ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලය, සිංගප්පූරුවේ රැෆල්ස් විශ්ව විද්‍යාලය, මේ අතර සිටින බවයි. මීට අමතරව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමද පුද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට අයදුම් කර තිබේ.

    පසුගියදා බ්‍රිතාන්‍යයේ සෙන්ට්‍රල් ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ආරම්භ කිරීමටද ගම්පහ ප්‍රදේශයේ මුල්ගල් තැබීය.