සියැට් වෙතින් රේඩියල් ටයර් නිපදවීමේ දැවැන්ත කම්හලක්

    June, 10, 2014

    මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මගී මෝටර් රථ සහ SUV වාහන සඳහා අවශ්‍ය රේඩියල් ටයර් නිපදවීමේ ඉහළ තාක්ෂණයෙන් යුතු ටයර් නිෂ්පාදනාගාරයක් අද විවෘත කළේය.

    2009 වසරේ සිට සියැට් කැළණි ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සිය කර්මාන්තශාලා සංකීර්ණයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටත් මෙම රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමේ නව නිෂ්පාදනාගාරය ගොඩනැගීම සඳහාත් රුපියල් බිලියන 2.5 ක පමණ මුදලක් ආයෝජනය කර ඇත.

    කැළණියේ පිහිටි සියැට් නිෂ්පාදන සංකීර්ණයට ඒකාබද්ධ වන ලෙස ගොඩනගා තිබෙන මෙම නව නිෂ්පාදනාගාරය නිසා සමාගමේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවය වසරකට ටයර් 450,000 ක් දක්වා 70% කින් ඉහළ යනු ඇත. මේ තුළින් මෙම කාණ්ඩයේ ටයර්වල දේශීය අවශ්‍යතාවයෙන් 60% කට වැඩි ප‍්‍රමාණයක් මෙරට නිපදවනු ලබයි.

    මෙයින් ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ඉතිරියක් ඇති වන අතරම මෙම නිෂ්පාදනාගාරයේ නිපදවන රේඩියල් ටයර් වලින් කොටසක් අපනයනය කෙරෙනු ඇත. සමාගමේ මේ වනවිට නිපදවන රේඩියල් ටයර් වලින් තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක් අපනයනය කරනු ලැබේ.

    මෙම නව නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් විය.

    සියැට් කැළණි සමාගම මාසයකදී නිපදවන ටයර් ටොන් 1450 ක ප‍්‍රමාණයෙන් ටොන් 500 ක් පමණ දකුණු ආසියාව, මැදපෙරදිග, අප‍්‍රිකාව ඇතුළු තවත් බොහෝ වෙළෙඳපොළ වලට අපනයනය කරයි.
    02