චීනය, සැම්සුන්ග්ටත් වටකර ගේම දෙයි

    October, 7, 2014

    ගැලැක්සි ස්මාර්ට් ජංගම දුරකතන අලෙවිය අඩුවීම නිසා සමාගම විසින් බලාපොරොත්තු වූ කාර්තුමය මෙහෙයුම් ලාභ සියයට 60 කින් පමණ පහළ වැටෙනු ඇතැයි ජංගම දුරකතන හා රූපවාහිනී නිෂ්පාදනයේ ලොව දැවැන්තම සමාගම වන සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් පුරෝකතනය කර තිබේ.

    මේ පිළිබඳව වාර්තා කරමින් බී.බී.සී. පුවත් සේවය සඳහන් කරන්නේ මේ වසරේ සැප්තැම්බර් වලින් අවසන් වන කාර්තුවේදී සමාගම ඩොලර් බිලියන 3.8 ක මෙහෙයුම් ආදායමක් බලාපොරොත්තු වූ බවයි. වාර්තා වන ආකාරයට සමාගම විසින් සිය සම්පූර්ණ මූල්‍ය වාර්තා එළි දැක්වීමට බලාපොරොත්තු වන්නේ මේ මාසය අවසානයේදීයි.

    Apple මෙන්ම චීන ජංගම දුරකතන සන්නාම වන Xiaomi සහ Lenovo හමුවේ සිය ආධිපත්‍යය රඳවා ගැනීමේ දැඩි තරගයකට මේ වනවිට සැම්සුන්ග් මුහුණ දී ඇතැයි සඳහන්ය.

    චීන ස්මාර්ට් ජංගම දුරකතනවල මිල අඩුවීමත් ඒවායේ අනිකුත් ප්‍රචලිත සන්නාමවල තිබෙන පහසුකම් එලෙසම තිබීමත් ප්‍රධාන සන්නාම වලට දැඩි තර්ජනයක් වී තිබේ.

    මෙය සැම්සුන්ග් බලාපොරොත්තු වූ ලාභය ලබාගැනීමට බාධාවක් වී තිබෙන අතර ඉදිරියේදී තවත් පහසුකම් සහිත ස්මාර්ට් ජංගම දුරකතන මාලාවක්ම එළි දැක්වීමට සැම්සුන්ග් සැලසුම් කර ඇත.