ශ්‍රී ලංකා නිෂ්පාදනවලට චීනයේ වැඩි ඉල්ලුමකට මඟ පෑදෙයි

    November, 16, 2020

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ දිනා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ. මීට අදාළ සාකච්ඡාවක් හා ප්‍රදර්ශනයක්  අන්තර්ජාලය හරහා පැවැති අතර එය වඩා සාර්ථක වූ බව චීනයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති කේ.කේ. යෝගනාදන් මහතා සඳහන් කෙළේය.

    චීනයේ ෂැංහයි නුවර පැවැති මෙම අපනයන ප්‍රදර්ශනයට හා සාකච්ඡාවට චීනයේ තානාපති කාර්යාලය, ෂැංහයි කොන්සල් ජෙනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, හා විදේශ අමාත්‍යාංශය ද සම්බන්ධ වී සිටියහ. මෙම අපනයන ප්‍රදර්ශනය 2020 නොවැම්බර් 05 දා සිට 10 දක්වා දින පහක් පුරා පැවැත්විණ.

    මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, ඉහළ මට්ටමේ පළාත් නිලධාරීන් හත් දෙනෙකු සමඟ චීනයේ ඔවුන්ගේ නියෝජිතයින් හරහා තේ, පොල් නිෂ්පාදන, ලංකා කුරුඳු ඇතුළු කුළුබඩු, ශාකසාර නිෂ්පාදන, රබර් නිෂ්පාදන සහ රසකැවිලි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම අනුව චීන වෙළඳපොළ වෙත කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීම සහ දෙරට අතර වෙළඳ ශේෂය අඩු කිරීමේ අරමුණින් යුතුව, චීනය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොණ මහතා, මෙම සහභාගීත්වය සඳහා ශ්‍රී ලාංකික නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය සිදු කළේය.

    චීන බැංකුව හා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික ගැළපුම් සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලාංකික සමාගම් 27 ක් අන්තර්ජාලය හරහා සහභාගී විය. මීට අමතරව, ශ්‍රී ලංකා නිෂ්පාදන පිළිබඳ වීඩියෝ දර්ශන ද මණ්ඩපයේ ප්‍රදර්ශනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංචාරකයින් සඳහා ආකර්ෂණීය ස්ථාන, වරාය නගරයේ හා හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජන අවස්ථා ද මෙම වීඩියෝ පටයට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නැටුම් හා සංගීතය තිරය මත ප්‍රදර්ශනය වූ අතර, එය අමුත්තන්ගේ අවධානය දිනා ගත්තේය.

    වෝමායි.කොම් (Womai.com) මාර්ගගත වේදිකාවේ මාර්ගගත ශ්‍රී ලංකා මණ්ඩපයක් නිර්මාණය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අපනයන සංවර්ධන මණ්ඩලය සහ චයිනා ඔයිල් ඇන්ඩ් ෆුඩ් ස්ටෆ්ස් සමාගම (COFCO) අතර අත්සන් තබන ලදී. ශ්‍රී ලංකාව වෙනුවෙන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී  ප්‍රභාෂ් සුබසිංහ මහතා සිය අත්සන අවබෝධතා ගිවිසුමේ වීඩියෝ සබැඳිය හරහා තැබීය. COFCO යනු රජය සතු ව්‍යවසායයක් වන අතර, එය 2009 දී ආරම්භ කරන ලද්දකි. COFCO Womai යනු චීනයේ බීජිං හි මූලස්ථානය පිහිටි, චීනයේ පළමු විශාල පරිමාණ ව්‍යාපාර-පාරිභෝගික අන්තර්ජාලය පදනම් කරගත් ආහාර ඊ-වාණිජ්‍ය වේදිකාවයි. එය COFCO සමූහයේ පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින සමාගමකි. 2016 දී ෆෝචූන් සඟරාව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක වත්කම් සහිත පුද්ගලික සමාගම් පිළිබඳ යුනිකෝන් ලැයිස්තුවේ 170 වැන්න ලෙස මෙම සමාගම ලැයිස්තුගත කළේය. මෙම මණ්ඩපය තුළ තම නිෂ්පාදන අලෙවි කිරීමට කැමති ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට අපනයන සංවර්ධන මණ්ඩලය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    JD.com වේදිකාවේ ශ්‍රී ලංකා නිෂ්පාදන ප්‍රවර්ධනය ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර සමාගමක් වන සීමාසහිත ප්‍රෙස්ටීජ් ඉන්ටර්නැෂනල් සමාගමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් අත්සන් කරන ලද නිර්දේශ ලිපියක් භාරදීම, ශ්‍රී ලංකා මණ්ඩපයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

    JD.com යනු චීනයේ වඩාත්ම ජනප්‍රිය මාර්ගගත වේදිකාව වන අතර, එය ෆොචූන් 500 සමාගම් අතුරින් එකකි. JD.com හි වාර්ෂික ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 420 ක් වන අතර, එය ඇමරිකානු ඩොලර් බිලියන 83 ක වාර්ෂික ආදායමක් වාර්තා කරයි. එහි මාර්ගගත වේදිකාවේ ඇණවුම්වලින් 90% ක්ම නිපදවා මෙම මාර්ගගත වේදිකා දෙක මගින්, ශ්‍රී ලංකා නිෂ්පාදනවල මාර්ගගත අලෙවිකරණ ඉතිහාසයේ උත්ප්‍රේරකයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අත්සන් තැබීමේ උත්සවය අමතමින් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කේ. කේ. යෝගනාදන් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා තානාපති කාර්යාලය උපරිම උත්සාහය දරන බවයි. චීන ජාත්‍යන්තර අපනයන ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා, මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම්කළ තානාපති ආචාර්ය පාලිත කොහොණ මැතිතුමා තානාපති කාර්යාලයට මඟ පෙන්වූ බවත්, තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා අවබෝධතා ගිවිසුම සහ මාර්ගගත වේදිකා ආරම්භ කිරීමට ඉවහල් වූ බවත් ඔහු පැවසීය. සියලුම ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් සඳහා ශ්‍රී ලංකාවේ සගයන් විසින් සූම් තාක්‍ෂණය හරහා අත්සන් තැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වය මඟින් එල්ල කරනු ලැබූ අභියෝග මධ්‍යයේ වුවද, චීන ජාත්‍යන්තර අපනයන ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට ස්තූතිය පුද කළේය.

    ශ්‍රී ලංකාවේ සාර්ථක සහභාගීත්වය සඳහා ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය සහ තේ ප්‍රවර්ධන තෙවැනි ලේකම් සම්පත් පෙරේරා මහතා ද මේ සඳහා සහභාගී වූහ.

      කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර 1 සඳහා චීන EXIM බැංකුවෙන් ඩොලර් මිලියන 989 ක සහනදායී ණය මුදලක්

      March, 22, 2019

      ආර්ථික සංවර්ධනය සඳහා සෘජු දායකත්වයන් සැපයීම මෙන්ම විවිධ ආර්ථික අංශයන්හි ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය නැංවීම හරහා වක්‍රාකාර ප්‍රතිඵලයන් ද ඇති කරන බැවින් අන්තර් සම්බන්ධතාවයන් සහිත අධිවේගී මාර්ග ජාලය ද ඇතුළුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉහළ වැදගත්කමක් ලබා දී තිබේ. දැනට පවතින අධිවේගී මාර්ග ජාලයට ඌන පූර්ණයක් වශයෙන් කොළඹ නගරය, කුරුණෑගල සහ මහනුවර නගරයන් සමග සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යෝජනා වී තිබේ.

      කඩවත අන්තර් හුවමාරුව මගින් පිටත වටරවුම් අධිවේගී මාර්ගය අදියර 11 හා අදියර 111, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගය යන අධිවේගී මාර්ග හතර සම්බන්ධ වන කඩවත නගරයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ආරම්භ වේ. ආර්ථික වශයෙන් වැදගත් වන වරාය, ගුවන්තොටුපළ හා වාණිජමය නගර සහ විවිධ පළාත් සම්බන්ධ කරමින් හම්බන්තොට සිට කටුනායක හෝ හම්බන්තොට සිට නුවර දක්වා වන නොබිඳුනු සම්බන්ධතාවයක් මෙමගින් නිර්මාණය කරනු ඇත. සමස්ථ අධිවේගී මාර්ග ජාලයෙහි අන්තර් පළාත් සම්බන්ධතාවය හා කාර්යක්ෂමතාවය මෙම යෝජිත අධිවේගී මාර්ගය මගින් වැඩිදියුණු කරනු ඇත.

      ඒ අනුව, ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයෙහි මූල්‍යමය සහයෝගීතාවය ශක්තිමත් කරමින්, කඩවත සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි පළමු අදියර සඳහා කොන්ත්‍රාත් මුදලින් 85%ක් ආවරණය වන පරිදි ඇ. එ. ජ. ඩො. මිලියන 989ක් වන සහනදායී ණය මුදලක් ලබා දීමට චීන අපනයන ආනයන බැංකුව එකඟ වී ඇත. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු වියදම (පිරිවැය) ඇ. එ. ජ. ඩො. මිලියන 1,164කි. තවදුරටත්, මෙම ණය මුදල චීන අපනයන ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද විශාලතම තනි ණය මුදල වේ.

      දේශීය වාණිජ බැංකුවල මූල්‍යමය දායකත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇති බැවින්, චීන අපනයන ආනයන බැංකුව මඟින් ලබා දෙනු ලබන මෙම ණය පහසුකම කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග ඡාලයෙහි සම්බන්ධතාවය තහවුරු කරමින් කඩවත සිට මීරිගම දක්වා වන කොටස වේගවත්ව ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසනු ඇත.

      ඒ අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ චීන අපනයන ආනයන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති, ගරු චෙනග් ෂුයුආන් (H E Cheng Xueyuan) මහතා විසින් 2019 මාර්තු මස 22 වන දින කොළඹ 01, මුදල් අමාත්‍යාංශයේදී ණය ගිවිසුම අත්සන් තබන ලදී.

      (විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී.)

        ශ්‍රී ලංකා මහ බැංකුව චීනුන්ට පැන්ඩා බොන්ඩ් විකුණයි

        August, 3, 2018

        මෙම වසර අවසාන වීමට පළමුව පැන්ඩා බැඳුම්කර නිකුතුවක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර ඇති බව මහ බැංකු අධිපති පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව අනාවරණය කළේය.

        “අපි චීනයේ බැංකු, රක්ෂණ සමාගම් හා තවත් ආයතනික ආයෝජකයින් හමුවුණා. චීන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමඟ අපි සාකච්ඡා කළා. චීනයේ බැඳුම්කර වෙළෙඳපොළ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහා රටවල් දෙකේම නියෝජිතයින් ඇතුළත් වන පරිදි කාර්යසාධක බලකායක් පත්කරන්න ඔහු යෝජනා කළා.

        මෙම නිකුතුවේ වටිනාකම ඩොලර් මිලියන 250 ක පමණ වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

        චීන නොවන නිකුත් කරන්නෙකු විසින් මහජන චීන සමූහාණ්ඩුව තුළ චීනයේ රෙන්මිඹි මුදල් ඒකකයෙන් අලෙවි කරනු ලබන බැඳුම්කර, පැන්ඩා බැඳුම්කර යනුවෙන් හැඳින්වේ.

          විදෙස් සංචිතය 1.1%කින් ඉහළට

          October, 8, 2025

          2025 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.24 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

          මෙය 2025 අගෝස්තු මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.17ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1.1% ක වර්ධනයකි.

          මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

            2025 අගෝස්තු මාසයේ වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවෙයි

            October, 1, 2025

            ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

            අදාළ වාර්තා පිළිබඳ සාරාංශයක් පහතින් දැක්වේ.

            • ජංගම ගිණුමේ මාසික අතිරික්තයන් අඛණ්ඩව පවත්වා ගනිමින් 2025 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ අංශය අඛණ්ඩව ශක්තිමත් විය.
            • ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
            • පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව 2025 වසරේ අගෝස්තු මාසය තුළ වාහන ආනයනය සඳහා වූ වියදම එ. ජ. ඩොලර් මිලියන 249ක් වූ අතර, 2025 වසරේ පළමු මාස අට සඳහා මුළු වාහන ආනයන වියදම එ. ජ. ඩොලර් මිලියන 918ක් විය.
            • අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ ගිය බැවින් 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.
            • සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම්, 2025 වසරේ අගෝස්තු මාසයේ දී 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා වුවද, 2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් බිලියන 7ක් දක්වා සියයට 2.3ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කළේය.
            • 2025 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් 198,235ක් වූ අතර එය 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 4ක වර්ධනයක් පිළිබිඹු කළේය. ඊට අනුරූපව, මාසයේ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 259ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.[1] 2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ සමුච්චිත සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 2.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර එය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.1ට වඩා තරමක් වැඩි අගයකි.
            • 2025 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 681ක් දක්වා සියයට 9ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කරමින්, මෑත මාසවල දක්නට ලැබුණු ධනාත්මක ගම්‍යතාව පවත්වා ගෙන ගිය අතර, වසරේ මුල් මාස අට තුළ සමුච්චිත ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 19.3ක වර්ධනයක් වාර්තා කළේය.
            • රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන 2025 වසරේ අගොස්තු මාසය තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කරන ලද අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළවල් දෙකම ආවරණය කරමින් මාසය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
            • අඛණ්ඩ විදේශීය ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, 2025 වසරේ අගොස්තු මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.2ක් දක්වා තරමක් ඉහළ ගියේය.
            • 2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය තුළ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම සියයට 3කි.

            [1] 2025 අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් සංඛ්‍යාවේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් පෙන්නුම් කළ ද, සංචාරක ඉපැයීම්වල වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2025 අගෝස්තු මාසයේ දී සෘණ වර්ධනයක් වාර්තා වූයේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2025 අගෝස්තු මාසයේ දී සංචාරකයෙකු විසින් එක් දිනක් තුළ දරන වියදමෙහි සාමාන්‍ය සඳහා වන ඇස්තමේන්තුව අඩු කිරීම හේතුවෙනි.

              2025 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

              September, 1, 2025

              • 2025 වසරේ ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ජංගම ගිණුම අඛණ්ඩව මාසික අතිරික්තයන් වාර්තා කළේය.
              • 2025 වසරේ ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළ වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව මුළු අපනයන එ. ජ. ඩොලර් බිලියන 12.0ක්  දක්වා වැඩිදියුණු වූ අතර එය සියයට 6.7ක වාර්ෂික වර්ධනයක් කළේය. 2025 වසරේ ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ඉපැයීම් අගය සටහන් වූ අතර එය එ. ජ. ඩොලර් බිලියන 1.3කි. ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා, 2024 වසරේ ජූලි මාසයට සාපේක්ෂව 2025 වසරේ ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
              • පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2025 වසරේ ජූලි මාසය තුළ එ. ජ. ඩොලර් මිලියන 193ක් වූ අතර, 2025 වසරේ පළමු මාස හත තුළ වාහන ආනයනය සඳහා මුළු වියදම එ. ජ. ඩොලර් මිලියන 668ක් විය.
              • අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ ගිය බැවින්, 2025 වසරේ ජූලි මාසයේ දී වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.
              • 2025 වසරේ ජූලි මාසයේ දී සේවා අංශයේ ශුද්ධ ලැබීම් 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා කළේය. කෙසේ වුවත්, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී සේවා අංශයේ ශුද්ධ ලැබීම් එ.ජ. ඩොලර් බිලියන 2.4ක් දක්වා සියයට 3.3කින් ඉහළ ගියේය.
              • 2024 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 6.6ක වර්ධනයක් වාර්තා කරමින් 2025 වසරේ ජූලි මාසය තුළ දී සංචාරක පැමිණීම් 200,244ක් දක්වා වැඩි විය. ඒ අනුව, 2025 වසරේ ජූලි මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ.ඩොලර් මිලියන 318ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. තවද, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ඉපැයීම්, 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් බිලියන 1.9ට සාපේක්ෂව සුළු ඉහළ යෑමක් වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 2.0ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.
              • 2025 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2020 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව සටහන් වූ ඉහළම අගය වාර්තා කරමින් එ.ජ. ඩොලර් මිලියන 697ක් විය.
              • රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන 2025 වසරේ ජූලි මාසය  තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කරන ලද අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළවල් දෙකම ආවරණය කරමින් මාසය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
              • විදේශීය ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, 2025 වසරේ ජූලි මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.1ක් ලෙස නොවෙනස්ව පැවතුණි.
              • 2024 වසර අවසානයේ සිට 2025 වසරේ අගෝස්තු මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම සියයට 3.3කි.

                විදෙස් සංචිතය 1%කින් ඉහළට

                August, 7, 2025

                2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

                මෙය 2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1%ක වර්ධනයකි.

                මේ අතර මහ බැංකුව පවසන්නේ 2025 පළමු භාගය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් බිලියන 1.01ක ඩොලර් ප්‍රමාණයක් ශුද්ධ වශයෙන් මිල දී ගෙන ඇති බවයි.

                මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

                  විදේශීය අංශය ශක්තිමත්: අඛණ්ඩව පස්වන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක්

                  July, 1, 2025

                  ජංගම ගිණුම් අතිරික්තයක් අඛණ්ඩව මාසිකව වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2025 වසරේ මැයි මාසයේ දී තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

                  2025 මැයි මාසය වෙනුවෙන් විදේශීය අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් මේ බව සඳහන් කරන මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ,  විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩිදියුණු වූ අතර එමගින් පුළුල් වූ වෙළඳ ගිණුමේ හිඟය පියවන ලැබ ඇති බවයි.

                  විදේශීය අංශ ක්‍රියාකාරීත්වයට අදාළව මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන කරුණු 11ක් පහතින් දැක්වේ.

                  1. විදේශීය අංශයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරමින් 2025 වසරේ මැයි මස දක්වා වූ සියලුම මාසවල මාසික ජංගම ගිණුම අතිරික්තයන් වාර්තා කළේය.
                  2. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයනවලට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ආනයන වර්ධනය වීම පිළිබිඹු කරමින් 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2025 වසරේ මැයි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, 2025 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
                  3. පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2025 වසරේ මැයි මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 118ක් වූ අතර, 2025 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය සඳහා මුළු වියදම එ. ජ. ඩොලර් මිලියන 312ක් විය.
                  4. අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ඉහළ ගිය බැවින් මාසය තුළ දී වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.
                  5. වෙළඳ දිශාව අනුව, 2025 වසරේ මැයි මාසයේ දී මෙන්ම 2025 වසරේ ජනවාරි-මැයි කාලපරිච්ඡේදය තුළ ද එක්සත් ජනපදය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය ප්‍රමුඛ අපනයන ගමනාන්ත ලෙස පැවතුණ අතර, චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ ආනයන මූලයන් ලෙස පැවතුණි.
                  6. 2025 වසරේ මැයි මාසයේ දී සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම්, 2024 වසරේ මැයි මාසයේ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා කළේය. කෙසේ වෙතත්, 2025 වසරේ මුල් මාස පහ තුළ සේවා අංශයේ ශුද්ධ ලැබීම් සියයට 8ක වර්ධනයක් වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 1.8ක් විය.
                  7. 2025 වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම්, එ.ජ. ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ දී වූ මුළු ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 5ක් විය.
                  8. 2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කළ අතර, 2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ එ.ජ. ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා විය.
                  9. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන, පෙර මාසයේ දී වූ ශුද්ධ ගෙවීමක සිට මැයි මාසයේ දී සූළු ශුද්ධ ලැබීමක් දක්වා වෙනස් වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ද (ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ඇතුළුව) සූළු ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

                  10. 2025 වසරේ මැයි මාසයේ දී දළ නිල සංචිත 2025 වසරේ අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන මට්ටමක පැවති අතර එය එ.ජ. ඩොලර් බිලියන 6.3කි. දළ නිල සංචිත තුළ චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ඇතුළත් වේ.
                  11. 2024 වසර අවසානයේ සිට 2025 වසරේ ජූනි මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම සියයට 2.5කි.

                    පෙබරවාරියේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් වෙයි

                    March, 31, 2025

                    • පෙර මාසය හා සසඳන විට, 2025 වසරේ පෙබරවාරි මාසයේදී ජංගම ගිණුම ඉහළ අතිරික්තයක් වාර්තා කළ අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වෙළඳ හිඟයෙහි අඩු වීමයි. කෙසේ වෙතත්, 2024 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්තා වූ මට්ටමට වඩා මෙම අතිරික්තය අඩුය.
                    • 2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2025 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය. කෙසේ වෙතත්, 2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2025 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය.
                    • 2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2025 වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන මිල ගණන් පහළ යෑම ඉක්මවා ආනයන මිල ගණන් පහළ ගිය බැවින් වෙළඳ මිල අනුපාතය අඩු විය. එනමුත්, අපනයන සහ ආනයන යන දෙකෙහිම ප්‍රමාණයන් ඉහළ ගියේය.
                    • 2025 වසරේ පෙබරවාරි මාසයේ දී සංචාරක ඉපැයීම්, පෙර මාසයේ ඇස්තමේන්තුගත එ.ජ. ඩොලර් මිලියන 401ට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 368ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම පහත වැටීම වසරක් තුළ දී ඇති සාමාන්‍ය සෘතුමය සංචාරක පැමිණීම් රටාවට අනුකූල වේ.
                    • විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, 2024 වසරේ පෙබරවාරි මාසයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 476ට සාපේක්ෂව 2025 වසරේ පෙබරවාරි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 548ක් දක්වා ඉහළ ගියේය. 2025 වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 573ක් විය.
                    • 2025 වසරේ පෙබරවාරී මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන (ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ඇතුළුව) සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
                    • 2025 වසරේ පෙබරවාරි මාසයේ දී දළ නිල සංචිත 2025 වසරේ ජනවාරි මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන මට්ටමක පැවති අතර එය එ.ජ. ඩොලර් බිලියන 6.1කි. දළ නිල සංචිත තුළ චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ඇතුළත් වේ.
                    • 2025 වසරේ මාර්තු මස අවසානය දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 1.3කින් අවප්‍රමාණය විය.

                      විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.46 ඉක්මවයි. රන් සංචිතයත් ඉහළට

                      November, 7, 2024

                      පසුගිය 2024 ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

                      එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබුණු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත. මෙය 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමකි.

                      නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබේ. 2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසිනි.

                      මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42 ක් දක්වා 5.8% කින් වැඩී වී තිබේ.

                      මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

                      මෙලෙස නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.