ලොව පැරණිම ජල බෝතලයද මේ ? හදා ඇත්තේ මැටියෙන්

    July, 16, 2014

    යුරෝපයේ ඉපැරණිම පානීය ජල බෝතල් සමාගමක් වන Selters විසින් නිපදවන ලද වසර 200 කට වඩා පැරණි නොකැඩූ පානීය ජල බෝතලයක් බෝල්ටික් සයුරේ නැවක සුන්බුන් අතර තිබියදී පෝලන්ත පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

    මෙහි සුවිශේෂීත්වය වන්නේ මෙය ලොව පැරණිම පානීය ජල බෝතලයක් ලෙස සැලකිය හැකිවීමත් එහි කට ජලය පිටතට ගලා නොයන ලෙස තවමත් හොඳින් වැසී තිබීමයි.

    බොල්ටික් සයුර පතුලේ තිබී සොයාගෙන තිබෙන අඟල් 12 ක් පමණ දිග මෙම බෝතලය නිපදවා තිබෙන්නේ 1806 සහ 1830 අතර කාලයේදී බව සඳහන්ය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් පෝලන්ත පුරාවිද්‍යාඥයෙකු මෙසේ අදහස් දක්වා ඇත.

    “මෙය Selters සමාගම විසින් නිපදවූ ඉපැරණිම ජල බෝතලය විය හැකියි.“

    අතීතයේදී Selters සමාගම විසින් පානීය ජල බෝතල් මැටි වලින් සකස් කර තිබුණු බවත් ඒවා සෙන්ට් පීටර්ස්බර්ග් සිට නිව් යෝර්ක් දක්වාත් ලන්ඩනයේ සිට ෆ්ලොරෙන්ස් දක්වාත් ප්‍රචලිත වී තිබුණු බව සඳහන්ය.

    මෙම බෝතල් අතර ලී ඇබයකින් වැසූ බෝතල් ඉතා සීමිත වූ නිසා බෝල්ටික් මුහුදෙන් සොයාගත් මෙම බෝතලය පුරාවිද්‍යාත්මකව විශාල වැදගත් කමක් ඇතැයි වාර්තා වේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ සොයාගත් බෝතලයයි