SLIIT ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් හඳුන්වාදීමට සැරසෙයි

    July, 10, 2020

    සිසුන්ගේත්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් සෞඛ්‍යාරක්ෂාව සිය ප්‍රමුඛතාව ලෙස සලකමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් (virtual orientation programme) සංවිධානය කිරීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය සැලසුම් සකස් කරමින් සිටී. SLIIT සිය ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් ඩිජිටල් මාදිලියෙන් ඉදිරිපත් කරන පළමු වතාව මෙය වන අතර, ඒ සමඟ නවක සිසුන්ට තම උසස් අධ්‍යාපන ජීවිතය ආරම්භයේදී ම අතිශය නැවුම් අත්දැකීමකට මුහුණ දීමේ අවස්ථාව හිමිවනු ඇත.

    SLIIT ශිෂ්‍ය අනුහුරු වැඩසටහන යනු වසර 3-4ක් දක්වා දිවෙන සිසුන්ගේ උසස් අධ්‍යාපන ජීවිතයට අවශ්‍ය ශක්තිමත් පදනමක් ලබාදෙන, විවිධත්වයෙන් අනූන වටිනා වැඩසටහනකි. මෙහිදී සුහද අයුරින් පිළිගනු ලබන නවක සිසුන්ව කණ්ඩායම් කිහිපයකට මිශ්‍ර කෙරේ. එම ක්‍රමවේදය යටතේ විවිධ පීඨවල සිසුන් අතර සබඳතා වර්ධනය වී අවසානයේදී අවබෝධයත්, එකමුතුකමත් සහිත වාතාවරණයක් ගොඩනැඟෙන බව අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තිබේ.

    කොවිඩ් වසංගත කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ දේශන පවත්වමින් විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමටත්, ඉහළ ශිෂ්‍ය සහභාගීත්වයක් ළඟා කරගැනීමටත් SLIIT සමත්විය. මෙම ‘නව සාමාන්‍ය’ තත්ත්වයට හැඩගැසෙමින් මෙසේ පළමු වරට ඩිජිටල් තාක්ෂණය හරහා ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් පැවැත්වෙන අතර, වසරේ ඉදිරි කාලය තුළදී පවා ශිෂ්‍ය අනුහුරු වැඩසටහන් දෙමුහුන් ක්‍රමයට (භෞතික හා ඩිජිටල් යන දෙයාකාරයට ම) පැවැත්වීමට සිදුවනු ඇත.

    නවක සිසුන්ට මෙම අනුහුරු වැඩසටහනේ භෞතික ස්වරූපය අත්විඳීමට නොලැබුණ ද, ඒ හරහා පිරිනමන හරය ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ පවා හිමිවනු ඇති බවටත්, නවක සිසුන් ඊට උනන්දුවෙන් සම්බන්ධ වනු ඇති බවටත් SLIIT විශ්වාසය පළකරයි.

    තව ද මෙම ශිෂ්‍ය අනුහුරු වැඩසටහන මුළුමනින්ම විකල්ප ක්‍රමයක් උපයෝගී කරගනිමින් එනම් වෙබ් අඩවියක් ඇසුරෙන් පිරිනැමීමට SLIIT සැලසුම් සකස් කරයි. එහිදී වීඩියෝ, වෙබ් සම්මන්ත්‍රණ සහ සජීවී අන්තර්ජාල වැඩමුළු යනාදිය එකතු කරගනිමින් තම ජ්‍යෙෂ්ඨ සහ නවක සිසුන් අතර පවතින සුපුරුදු සමානාත්මතා සහ සාධාරණ සංස්කෘතිය තවදුරටත් වර්ධනය කිරීමට SLIIT සූදානමින් සිටී.

    “මෙම ශිෂ්‍ය අනුහුරු වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ නවක සිසුන්ට SLIIT අධ්‍යයන ජීවිතයට හැඩගැසීම පහසු කිරීම සඳහා යි. මෙවර අන්තර්ජාලය හරහා මෙම වැඩසටහන ඉදිරිපත් කළත් අපේ ඉලක්කයේ වෙනසක් නැහැ. අපට අවශ්‍ය නවක සිසුන්ට අපගේ අධ්‍යයන පරිසරය පිළිබඳ හොඳ හුරුවක් සහ විශ්වාසයක් ලබාදීලා ඔවුන් පළමු අධ්‍යයන වර්ෂය සඳහා සූදානම් කිරීමයි. ඒ වගේම පළමු සති කිහිපය තුළ ඔවුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට හොඳින් එකතු වීමට අවශ්‍ය මඟපෙන්වීමත් අපේ අරමුණක්” යනුවෙන් මෙම නවත ම ශිෂ්‍ය අනුහුරු වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් SLIIT මානව ශාස්ත්‍ර සහ විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය මලිත විජේසුන්දර මහතා පැවසීය.

    සෙසු සිසුන් සමඟ සම්බන්ධ වීම, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය මුණගැසීම, තමන්ට හිමිවන සෙසු වටිනා සම්පත් සහ සේවා පිළිබඳ අවබෝධ කරගැනීම, විශ්ව විද්‍යාල ජීවිතය පිළිබඳ උගෙනීම, පළමු අධ්‍යයන වාරය සඳහා අධ්‍යයන උපදේශ ලබාගැනීම ආදී වශයෙන් මෙම ශිෂ්‍ය අනුහුරු වැඩසටහන මගින් සිසුන්ට හිමිවන ප්‍රතිලාභ රැසකි. ඒ සියල්ල සමඟින් SLIIT හි අද්විතීය ඉගෙනුම් පරිසරය නවක සිසුන්ට සාර්ථකව හඳුන්වා දීම මෙම වැඩසටහනේ සමස්ත ඉලක්කය යි.