SLIM “ගමට අළෙවිකරණය” පුහුණු වැඩමුළු SABAH සහයෝගීතාවයෙන් සංවිධානය කෙරේ

    October, 26, 2020

    ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් දිවයින පුරා ගම් නගර සිසාරා විසිර සිටින ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් සොයා යමින් අලෙවිකරණ දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ක‍්‍රියාත්මක කරනු ලබන “ගමට අළෙවිකරණය” පුහුණු වැඩමුළු මාලාවේ තවත් වැඩමුළු 2 ක්, පළමු වරට දකුණු ආසියානු කලාපීය ගෘහස්ථ නිෂ්පාදිකාවන්ගේ එකමුතුව හෙවත් SABAH (SAARC Business Association of Home - Based Workers) සහයෝගීතාවයෙන් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. රජයේ COVID-19 නිරෝධායන නීති හා සෞඛ්‍යාරක්ෂණ භාවිතා උපදෙස්වලට අනුකූලව එක් වැඩමුළුවක් සඳහා 100 දෙනෙකු පමණක් සහභාගී කරගනිමින්, මහර හා කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන් කේන්ද්‍ර කරගනිමින් පැවැති එම පුහුණු වැඩමුළු වලදී අදාල ප‍්‍රදේශයන්හි ව්‍යාපාර කටයුතුවල නියැලි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ  අලූතෙන් ව්‍යාපාර අරඹන්නට සූදානමින් සිටින් ව්‍යවසායකයන්ට නූතන තරගකාරී ව්‍යාපාරික පරිසරයේදී අභියෝග ජයගනිමින් සිය භාණ්ඩ හා සේවා ජනතාව අතරට රැගෙන යාම පිළිබඳ වටිනා කරුණු රැසක් පැහැදිළි කෙරිණ. තරුණ තරුණියන් මෙන්ම විශ‍්‍රාමිකයන් හා විවිධ වයස් කාණ්ඩයන් නියෝජනය කළ පිරිසක් මෙම වැඩමුළු සඳහා සහභාගී වීම විශේෂත්වයකි.

     

    SLIM  “ගමට අළෙවිකරණය” පුහුණු වැඩමුළු තුලදී නිෂ්පාදන සඳහා වෙළෙඳ නාමයක් ලබාදීම, මිලක් නියම කිරීම හා ඇසුරුම් කිරීමෙන් පසු අලෙවි කිරීම ලෙස ග‍්‍රාමීය ව්‍යාපාරිකයන් කාටත් හුරුපුරුදු සාමාන්‍ය විකුණුම් ක‍්‍රමවේදයෙන් ඔබ්බට ගොස් අලෙවි කළමනාකරණ මූලධර්ම උපක‍්‍රමික හා ප‍්‍රායෝගික වශයෙන් ව්‍යාපාර සාර්ථකත්වය උදෙසා භාවිතා කිරීම පිළිබඳ පුළුල් ලෙස පැහැදිළි කෙරේ. එමෙන්ම සාර්ථක ව්‍යවසායකයෙකු වීම සඳහා අවශ්‍ය කුසලතා සවිබල ගැන්වීම හා මානසික සවිමත්බව වර්ධනය කිරීමද SLIM  “ගමට අළෙවිකරණය” පුහුණු වැඩමුළු තුළදී සිදු කෙරේ.

     

    SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා වැඩමුළු පිළිබඳ අදහස් දක්වමින් “අපේ රටේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ජාතික මෙහෙවරක නියැලි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අපි සැමවිටම දේශීය ව්‍යාපාරිකයන් වෙනස්වෙන තරගකාරී ව්‍යාපාරික ලෝකයට ගැලපෙන ආකාරයෙන් සවිබල ගැන්වීම උදෙසා විවිධ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරනවා. අපේ රටේ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් බොහෝ ප‍්‍රමාණයක් සිටිනවා. ජාතික ආර්ථික සංවර්ධනයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්. ඒ නිසා සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවක්. SLIM ගමට අළෙවිකරණය පුහුණු වැඩමුළු හරහා අපි ග‍්‍රාමීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා.” යැයි පැවසීය.

     

    SABAH ශ්‍රී ලංකා සභාපති ආචාර්ය පේ‍්‍රමසිරි ගමගේ මහතා වැඩමුළු පිළිබඳ අදහස් දක්වමින් “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අලෙවිකරණය පිළිබඳ අවබො අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසා කෙතරම් උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ඉදිරිපත් කළත් වෙළෙඳපොළ අසාර්ථකත්වයට මුහුණදෙන ආකාරය අප බහුලව දකිනවා. SLIM ගමට මාකටින් පුහුණු වැඩමුළු දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සාර්ථක අලෙවිකරණ ක‍්‍රියාවලියක් පවත්වා ගනිමින් සාර්ථක ව්‍යාපාර ගොඩනගාගැනීම පිළිබඳ පුළුල් මගපෙන්වීමක් සිදුකරනවා. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට මෙවැනි වැඩසටහන් සංවිධානය කරන SLIM ගමට අළෙවිකරණය ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය දිල්හාන් එස්. ජයතිලක මහතාටත් SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු මෙම වැඩසටහන් සාර්ථක කරගැනීමට වෙහෙසුනු සියළු දෙනාටත් මගේ කෘතඥතාව හිමිවනවා.” යැයි පැවසීය.

     

    SLIM ගමට මාකටින් ව්‍යාපෘති ප‍්‍රධානි ආචාර්ය දිල්හාන් එස්. ජයතිලක මහතා අදහස් දක්වමින්  COVID-19  වසංගතය පොදුවේ සියළුම දේශීය ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්ට පසුගාමීත්වයක් ළඟාකරදී තිබෙනවා. ඒත් සමහර භාණ්ඩ හා සේවා සඳහා හොඳ වෙළෙඳපොල ඉල්ලූමක් ඇතිව තිබෙන බව ඒ සමගම පෙනී යනවා. මේ සියල්ලත් සලකා බලා, අභියෝග ජයගනිමින් නැවතත් අපේ රටේ දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කරගෙන මෙවර SLIM ගමට මාකටින් පුහුණු වැඩමුළු පවත්වනු ලබනවා. මෙම කටයුත්තේදී SABAH සහයෝගීතාවය අපට ඉමහත් ශක්තියක්. මෙම වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීම සඳහා SLIM අපට අගනා සහයක් ලබාදුන් SABAH ශ‍්‍රී ලංකා සභාපති ආචාර්ය පේ‍්‍රමසිරි ගමගේ මහතාට සහ මේ සඳහා නායකත්වය හා මගපෙන්වීම සිදු කළ SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතාටත්, එමෙන්ම නොමද සහයෝගයක් ලබා දුන් SABAH ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී දිනූෂ රාජරත්න මහතාටත් මා හදවතින්ම ස්තුතිවන්ත වනවා.” යැයි පැවසීය.