SLT-MOBITEL වෙතින් ‘Capital Heights’ නිවාස ව්‍යාපෘතියට අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම්

    March, 18, 2024

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, රාජගිරිය ‘Capital Heights’ නිවාස ව්‍යාපෘතියට අධිවේගී සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා Blue Star Realties (පුද්.) සමාගම සමග පසුගියදා ගිවිසුම්ගත විය. Blue Star Realties (පුද්.) සමාගම මෙරට සිවිල් ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකේ.

    එවකට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) ලෙස කටයුතු කළ, වර්තමාන විශ්රාමික පුෂ්පකුමාර සමරසිංහ මහතා සහ Blue Star Realties (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/ විධායක අධ්‍යක්ෂ මෝසන් ඩේගන් මහතා විසින් ගිවිසුමට අත්සන් තබන ලදි. දෙපාර්ශ්වයේ තවත් නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මෙම එකඟතාව යටතේ ‘Capital Heights’ නිවාස ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ට අධිවේගී ෆයිබර් සබන්ධතා සමග, නවීන ලෝකයේ ජීවන රටා අවශ්‍යතා සඳහා ගැළපෙන සේවා රාශියක් හිමි වේ.

    “Blue Star Realties සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අඛණ්ඩව උසස් සම්බන්ධතා විසඳුම් පාරිභෝගිකයන්ට පිරිනැමීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් පියවරක්. මෙය ‘Capital Heights’ නිවාස ව්යාපෘතියේ පදිංචිකරුවන්ට විශිෂ්ට ඩිජිටල් අත්දැකීම් පෙළක් ගෙනෙන පියවරක් වේවි. එමෙන්ම එය නවෝත්පාදන දිරිගන්වමින්, සංවර්ධනය නවීන ජීවන රටාවන්ගේ කේන්ද්රය බවට පත්කිරීම සම්බන්ධ අපගේ දැක්ම සමග මැනැවින් සමගාමී වනවා.” පුෂ්පකුමාර සමරසිංහ මහතා පැවසී ය.

    “අප සෑම විටම උත්සාහ කරන්නේ පදිංචිකරුවන්ට ඉහළම තලයේ පහසුකම් සැපයීමටයි. නවීන ජීවන රටාවන්ට අධිවේගී සම්බන්ධතා පහසුකම් අත්‍යවශ්‍ය බව අප දන්නවා. SLT-MOBITEL Fibre මගින් Capital Heights පදිංචිකරුවන්ට ඒ සුවිශේෂී අත්දැකීම හිමි වේවි. ඒ ඔස්සේ ඔවුන්ට පෙර නොවූ ආකාරයට සන්නිවේදනයේ හා රාජකාරි කටයුතුවල යෙදීමටත් විනෝදාස්වාදය ලැබීමටත් හැකියාව ලැබෙනවා.” මෝසන් ඩේගන් මහතා පැවසී ය.

    කොළඹ නගරයේ නවතම සුපිරි මහල් නිවාස සංකීර්ණයවන Capital Heights, එහි සුවිශේෂී වක්‍ර රේඛීය සැකැස්ම සහ හැඩය සමග මෙරට ඉහළම ඉල්ලුමක් සහිත නවීන සුඛෝපභෝගී නිවාස එකතුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජගිරිය ප්‍රදේශයේ සියලු පහසුකම් සහිත ස්ථානයක, ඉහළම ප්‍රමිතියෙන් යුතුව එය ඉදිකර ඇත. එමෙන්ම එය පිහිටා ඇත්තේ කඩොලාන සහ කුරුලු අභය භූමියක් දිස්වන මානයේ පිහිටි අති-සුන්දර පරිසරයක ය. මෙය ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ජීවන අත්දැකීම්වල නවතම මානයක් සනිටුහන්කරන ව්‍යාපෘතියක් බවට පත්වනු නො-අනුමාන ය.

     

    ඡායාරූපය: SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) ලෙස කටයුතු කළ, පසුව විශ්‍රාම ගිය පුෂ්පකුමාර සමරසිංහ මහතා සහ Blue Star Realties (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/ විධායක අධ්‍යක්ෂ මෝසන් ඩේගන් මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.