SLT – NEMRA Properties  සහයෝගීතාවයෙන් කොළඹ ප‍්‍රධාන මහල් නිවාස සංකීර්ණ 5 කට සන්නිවේදන තාක්ෂණික හා අධිවේගී අන්තර්ජාල පහසුකම්

    November, 2, 2020

    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ^SLT) විසින් BOI අනුමත දේපල සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන NEMRA Properties (Pvt) Ltd සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා  ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුම් පත‍්‍රය අනුව කොළඹ අවට ඉදිවෙමින් පවතින NEMRA Properties (Pvt) Ltd සමාගමේ මහල් නිවාස සංකීර්ණ 5 ක් සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත කොටස් 42 කින් යුක්ත ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා SLT විසින් සන්නිවේදන තාක්ෂණික හා අධිවේගී අන්තර්ජාල පහසුකම් සලසනු ලැබේ. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම SLT වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, ප‍්‍රධාන විකුණුම් හා කළාප නිලධාරී ඉමන්ත විජේකෝන්් යන මහත්වරුන් හා NEMRA Properties (Pvt) Ltd පාර්ශ්වය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජූඞ් රොසාරියස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ කොටුව, SLT පරිශ‍්‍රයේදී සිදුකෙරිණ.

    මෙම අවබෝධතා ගිවිසුමට අනුව, NEMRA Properties විසින් ඉදිකරනු ලබන මහල් නිවාස සංකීර්ණ නිවැසියන් වෙත අති නවීන SLT ෆයිබර් යටිතල පහසුකම් සමග නූතනත්වය මුසු ඩිජිටල් ජීවන රටාවක් හිමි වේ. SLT සුපිරි අධිවේගී අන්තර්ජාල සබඳතා, අති සුපැහැදිලි හඬ සේවාව සහිත දුරකතන ඇමතුම් පහසුකම් මෙන්ම PEO TV සහ PEO Go ඔස්සේ හිමිවන HD රූපවාහිනී දසුන් එම නිවැසියන්ගේ එදිනෙදා දිවිය වඩාත් පහසු කිරීමෙහිලා සමත්වනු ඇත.

    NEMRA Properties (Pvt) Ltd. පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ එහි අධ්‍යක්ෂ ජූඞ් රොසාරියස් මහතා "ඉදිකිරීම් ව්‍යාපාරය තුළ අප සමාගමට 15 වසරක අත්දැකීම් තිබෙනවා. පළමුව සෞදි අරාබියේත් ඉන්පසු ශ්‍රී ලංකාව තුලත් අප ඉදිකිරීම් සිදුකොට තිබෙනවා. එදා මෙදා තුර ඉදිකිරීම් වෙනුවෙන් අප ගෞරව සම්මාන වගේම විශේෂ ඇගයීම් සහතික ගණනාවක් හිමිකරගෙන තිබෙනවා. අප සමාගම මෙතෙක් අනුගමනය කළ උසස් තත්ත්වයේ සේවා සම්පාදන සංස්කෘතියටත් නූතන ඩිජිටල් යුගයටත් වඩාත්ම ගැලපෙන තොරතුරු තාක්ෂණික ඩිජිටල් සේවා සැපයුම්කරුවා තෝරාගැනීම පිළිබඳ අප විශේෂයෙන්ම සැලකිලිමත් වුණා. SLT සතු ක්ෂේත‍්‍රයේ විශේෂඥතාවය සහ අති නවීන සන්නිවේදන තාක්ෂණික ශක්තියත් සමග වාර්තා කළ අතිසාර්ථකත්වය නිසා අපි SLT සමග මෙම සේවා සහයෝගීතා ගිවිසුමට එළෙඹුණා." යැයි පැවසීය.

    SLT පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ එහි ප‍්‍රධාන ප‍්‍රධාන විකුණුම් හා කළාප නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා "කාර්යබහුල නූතන තරගකාරී ලෝකයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට රැගෙන එන්නට NEMRA Properties කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ඉදිකිරීම් ව්‍යාපෘති සිදුකිරීම ඉතාමත් කාලෝචිත කටයුත්තක් ලෙස මා දකිනවා. එම ඉදිකිරීම් සඳහා හොඳම ඉදිකිරීම් වැඩ පරිසරයක් පවත්වාගෙන යන අතරේ හොඳම තොරතුරු තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ඇතුලත් කරගැනීම අරමුණු කරගෙන SLT තෝරාගැනීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. තොරතුරු තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් සේවා සැපයීම් ක්ෂේත‍්‍රයේ SLT අප සතු විශේෂඥතාවයෙන් NEMRA Properties වෙනුවෙන් සේවා සපයන්නට අපට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. " යැයි පැවසීය.

    “Smart Buildings” සංකල්පය යටතේ නව ලොවට ගැලපෙන ස්මාර්ට් තාක්ෂණික පරිසරයක් මෙම ඉදිකිරීම් තුළ ගොඩනංවන්නට SLT අපේක්ෂා කරයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් තාක්ෂණික සේවා සැපයීමේ පුරෝගාමී SLT ජාතික මෙහෙවර තුළ මෙම අවබෝධතා ගිවිසුම තවත් එක් සුවිශේෂී මං සලකුණක් වනු ඇත.

    NEMRA Properties මේ වනවිට ශ්‍රී ලංකාව තුළ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 4ක් සාර්ථකව අවසන්කොට තිබේ. ඉදිකිරීමකදී ඔවුන් ප‍්‍රධාන වශයෙන්ම ආකෘතිමය නිමාව හා ඉදිකිරීම් පිළිබඳ මූලික වශයෙන් අවධානය යොමුකරන අතර සිය ව්‍යාපාරික කටයුතු හීදී දේපළ වෙළෙඳාම් සංවර්ධන ක්ෂේත‍්‍රයේද ඔවුන් කටයුතු කරනු ලබයි.

     

    ඡායාරූප විස්තරය: (වමේ සිට දකුණට) - NEMRA Properties වෙනුවෙන් එහි සැපයුම් සම්බන්ධීකාරක අබ්දුල් හදී මහතා, විකුණුම් හා අලෙවි කළමනාකරු  ඕමාර් මුස්තාක් මහතා, අධ්‍යක්ෂ ජූඞ් රොසාරියස් මහතා, NEM වෙනුවෙන් එහි ප‍්‍රධාන විකුණුම් හා කළාප නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා, සාමාන්‍යාධිකාරී චේතන අත්තනායක මහතා, කළමනාකාර කැලූම් ප‍්‍රියන්ත මහතා, ජේෂ්‍යඨ විධායක සහකාර කළමනාකාරිනී චිත‍්‍රා කුමාරි මහත්මිය