S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි

    April, 6, 2016

    ලොව ප්‍රමුඛ දර්ශක සැපයුම් සමාගමක් වන S&P Dow Jones Indices ("S&P DJI”) සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධව, S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක අද (06) දිනයේ දී හඳුන්වා දෙනු ලැබීය.

    Global Industry Classification Standard (GICS®) වර්ගීකරණයට අනුව වර්ගීකරණයවී ඇති, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විවිධ අංශ සහ කර්මාන්ත කාණ්ඩයන්හි ක්‍රියාකාරිත්වය මිනීම සදහා මෙම සවිස්තරාත්මක දර්ශක ශ්‍රේණිය නිර්මාණය කර ඇත.

    මෙම S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශකයන්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සියලුම සාමාන්‍ය කොටස් පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. සියලුම දර්ශකයන්, සිය මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව බර තබා ගණනය කරන අතර විනිවිදභාවයෙන් යුතු නීති සමුදායක් සහිත ක්‍රමවේදයකින් සමන්විත වේ. මෙම දර්ශක ශ්‍රේණිය, තවදුරටත් කර්මාන්ත කාණ්ඩ දර්ශකයන් අනුව විසිරෙන, අංශ දර්ශයන්ගෙන් යුක්තවන අතර ඒවා පහත පරිදි දැක්විය හැකිය.
    • S&P/CSE Energy Sector Index
    • S&P/CSE Materials Sector Index
    • S&P/CSE Industrials Sector Index
    • S&P/CSE Consumer Discretionary Sector Index
    • S&P/CSE Consumer Staples Sector Index
    • S&P/CSE Health Care Sector Index
    • S&P/CSE Financials Sector Index
    • S&P/CSE Information Technology Sector Index
    • S&P/CSE Telecommunication Services Sector Index
    • S&P/CSE Utilities Sector Index

    “ශ්‍රී ලංකාව, භාවිතයට නොගත් අනේක අවස්ථාවන්ගෙන් යුත් අනන්‍ය ආර්ථිකයකට හිමිකම් කියනා අතර මෑත කාලයෙදී, දෙශීය මෙන්ම විදෙශීය ආයෝජකයන්ගේ ශ්‍රී ලංකා කොටස් කෙරෙහි ඇති උනන්දුවෙහි වර්ධනයක් අපි දැක්කෙමු. S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක හදුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරිත්වය සාර්ථක අන්දමින් මැනීම සිදුකරනු ලබන සවිස්තරාත්මක මිනුම් කට්ටලයක්, ආයෝජක ප්‍රජාවහට ඉදිරිපත් කිරීම පිළිබද අප සාඩම්බර වන බව”, S&P Dow Jones Indices හි කළමණාකාර අධ්‍යක්ෂක සහ කොටස් දර්ශක කළමනාකරණ අංශ ප්‍රධානි අල්කා බෙනර්ජී මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.

    කොළඔ කොටස් හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “S&P Dow Jones හි දර්ශක නිර්මාණය කිරීමේ සහ පවත්වාගෙන යාමේ ප්‍රවීන නිපුණතාවයන් උපරිම ලෙස භාවිතයට ගනිමින් දර්ශක ශ්‍රේණියක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකා කොටස් වෙළෙදපොළෙහි දෘශ්‍යබව (visibility) ඉහළ තලයකට ගෙනයාමට හැකිවීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත්වන” බවයි.

    “S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක හඳුන්වාදීම තුලින් අප රට මූල්‍ය වෙළෙඳපොළ විදග්ධතාවහි තවදුරටත් වර්ධනයක් ඇති වන බව විශ්වාස කරන බව” කොළඔ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටී.

    කොළඔ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත, ද්‍රවශීලතාවයෙන් හා විශාලත්වයෙන් වැඩි සමාගම් 20 න් සමන්විත වූ S&P Sri Lanka 20 දර්ශකය, S&P DJI සහ කොළඔ කොටස් හුවමාරුව විසින් ඒකාබද්ධව 2012 වසරෙහිදී හදුන්වාදීමත් සමග, S&P DJI සහ කොළඔ කොටස් හුවමාරුවෙහි සහයෝගීතාවය ආරම්භ වුණි. අද දින මෙම නව දර්ශක ශ්‍රේණිය හදුන්වාදීම, ආයතන දෙකෙහි සම්බන්ධතාවයහි මෙන්ම S&P DJI හි ශ්‍රී ලංකාව තුල ව්‍යාප්තියෙහි වර්ධනය තව තවත් ශක්තිමත් කරනු ඇත.

    S&P Dow Jones Indices සහ කොළඹ කොටස් හුවමාරුව පිළිබඳ වැඩි විස්තර www.spdji.com සහ www.cse.lk වෙබ් අඩවි හරහා පරිශීලනය කළ හැකිය.