• Ada Derana BIZ Sinhala
  • Spring & Summer
  • sri lanka

Spring & Summer ජගත් වෙළඳපොළ ඔස්සේ දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමට සැරසෙයි

September, 15, 2022

  • දිනෙන් දින වැඩි වන ගෝලීය පාරිභෝගිකයන් වෙනුවෙන් Spring & Summer ජාත්‍යන්තර වෙබ් අඩවිය දියත් කිරීම.

Spring & Summer ආයතනය විසින් ලොව පුරා බෙදාහැරීමේ ජාලයක් සමඟින් සිය දෙස් විදෙස් පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් තම ගෝලීය පිවිසුම් වේදිකාව වන www.springandsummer.co  වර්ෂ 2022 ක් වූ අගෝස්තු මස ආරම්භ කරන ලදී.

1995 වසරේදී ආරම්භ කරන ලදුව, වේගයෙන් වර්ධනය වූ කීර්තිමත් විලාසිතා සහ රෙදිපිළි සන්නාමයක් වන Spring & Summer සතුව මේ වන විට දිවයිනේ ප්‍රධාන නගරයන් ආවරණය වන පරිද්දෙන් අලෙවිසැල් ගණනාවක් ඇත.

ඔවුන්ගේ නවතම විද්‍යුත් වාණිජ්‍ය වෙබ් පිටුව ඔස්සේ දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් හට තමන් වඩාත් ප්‍රිය කරන විලාසිතා මාදිලි මෙන් ම  චිත්තාකර්ෂණීය, හුරුබුහුටි නව මාදිලියේ සුවිශේෂී විලාසිතාවන් දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකියාව ඇත.

මෙම ආරම්භක උත්සවයේදී සිය අදහස් ප්‍රකාශ කළ Spring & Summer ආයතනයෙහි සම නිර්මාතෘ වන ශ්‍යාමලී විජේගුණවර්ධන මහත්මිය පවසා සිටියේ  “ වත්මන් වෙළඳපොළ තත්ත්වය සලකා බලන විට ඇත්තෙන්ම වඩා විශාල සහ පාරිභෝගික වෙළඳාම කෙරේ නැඹුරු වූ ප්‍රජාවක් ආවරණය වන පරිදි අප සන්නාමයේ නිම් වළලු පුළුල් කිරීමට හැකියාවක් ලැබීම ගැන ඇත්තෙන්ම අප සතුටු වනවා. දැඩි ගෝලීය වෙළඳපොළ සමීක්ෂණයකින් හා සාකච්ඡා මාලාවකින් අනතුරුව Spring & Summer විසින්, ලොව පුරා පැතිරී සිටින අපගේ පාරිභෝගිකයින් හට සුවිශේෂී වූ විලාසිතා එකතුවන් පිරිනමමින් මෙම ගෝලීය වෙබ් අඩවිය ආරම්භ කළ බව මම ප්‍රකාශ කරන්නේ ඉතාමත් ම සතුටකින්  ” යනුවෙනි.

Spring & Summer හි ලෝ ව්‍යාප්ත පුළුල් වීම මඟින්, පාරිභෝගිකයන් හට දින 6-9 ක් වැනි කෙටි කාලයක් තුළ සිය ඇණවුම් ලබාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ඇ.ඩො. 100 කට වඩා වැඩි ඇණවුම් සඳහා  ගාස්තු රහිතව බෙදාහැරීමේ පහසුකම් ද සලසා ඇත. එතුළින් මෙම ශ්‍රී ලාංකේය සන්නාමය නව ගෝලීය තලයක් වෙත  රැගෙන යාම මෙන්ම ගෝලීය විලාසිතා සහ ඇඟළුම් වෙළඳපොළ වෙත තම කොටස් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ විජේගුණවර්ධන මහත්මිය පවසා සිටියේ “ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ නිවාඩු සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික විදෙස් සංක්‍රමණිකයන් අතර විශ්වාසය දිනාගත් සංකේතාත්මක සන්නාමයක් බවට Spring & Summer පත්ව තිබෙනවා. ජාත්‍යන්තර තලය ආක්‍රමණය කර ශ්‍රී ලාංකේය ආර්ථිකය වෙත විදේශ විනිමය ගෙන ඒමේ හැකියාවක් අපගේ සන්නාමය සතුව පවතිනවා. අපගේ පරමාර්ථය දෙයාකාරය, එනම්; Spring & Summer ඇඟළුම් ලෝක ව්‍යාප්ත කරනා අතරතුර දේශීය ආර්ථිකය සවිමත් කොට, ප්‍රතිස්ථාපිත කිරීම වෙනුවෙන් ද උරදීමයි.

දයා සහ ශ්‍යාමලී විජේගුණවර්ධන විසින් අරඹන ලද මෙම සන්නාමය දිවයිනේ ප්‍රධාන නගරයන් හි අලෙවිසැල් 8 කින් මෙන්ම මාර්ගගතව (Online) ලෝක වෙළඳපොළට ද විවෘත වේ. Spring & Summer ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාරිභෝගික සන්නාමයක් වන අතර සිය නිෂ්පාදන වලින් 85% ක් ම සැලසුම් කිරීම සහ නිර්මාණය දේශීයව සිදු කිරීමද සුවිශේෂී කරුණකි.