පළමු වරට ජාත්‍යන්තර පන්නයේ ඇඟලුම් තොග වෙළඳ මධ්‍යස්ථානයක් කොළඹට

    June, 26, 2014

    දෙස් විදෙස් ගැනුම්කරුවන්ට ඇඟලුම් තොග වශයෙන් විකිණීමේ මහා පරිමාණ වෙළඳ මධ්‍යස්ථානයක් ඇඟලුම් කර්මාන්තයේ නිරත සමාගම් 100 ක පමණ සහභාගීත්වයෙන් කොළඹ නගරයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය (Sri Lanka Apparel Brands Association- SLABA) සැලසුම් කර තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සභාපති, ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන මහතා පැවසුවේ මෙවැනි ඇඟලුම් තොග විකිණීමේ වෙළඳ මධ්‍යස්ථාන චීනය හා තායිලන්තය වැනි රටවල මේ වනවිට තිබෙන බවත් කොළඹ නගරයේ ගොඩනැගීමට බලාපොරොත්තු වන්නේ එවැනි වෙළඳ මධ්‍යස්ථානයක් බවයි.

    “මෙම ඇඟලුම් තොග වෙළඳ මධ්‍යස්ථානය ගොඩ නැගීම සඳහා දිගු කාලීන කල්බදු පහසුකම් මත අක්කරයක ඉඩමක් අපි රජයෙන් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. රාජගිරිය, කොල්ලුපිටිය, බම්බලපිටිය වැනි ප්‍රදේශ පිළිබඳව අපගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.“

    “මෙම ඇඟලුම් තොග වෙළඳ මධ්‍යස්ථානයේ තොග අලෙවිසැල් 100 ක් පමණ ගොඩනැගීමටයි අපි සැලසුම් කර තිබෙන්නේ. මෙහි ඉදිකිරීමේ වියදම් මෙයට සම්බන්ධ වන ඇඟලුම් සමාගම් වලින් හා බැංකු ණය වලින් පියවා ගන්නවා.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන මහතා සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වෙළඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කර වසර දෙකකින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.