STI හෝල්ඩිංග්ස් ශ‍්‍රි ලංකාව සහ චීනයේ Jiaozhou අතර වෙළෙඳ සබඳතා සඳහා පහසුකම් සපයයි

    January, 26, 2020

    පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) මෙරට රාජ්‍ය සහ පුද්ගලික ආයතන කිහිපයක් සමග සම්බන්ධ වෙමින් වෙළෙඳ සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීනයේ ජියා ඕෂෝ ප‍්‍රාන්තයේ නගරාධිපති බී.වයිෂුන් මහතා සහ චීන නියෝජිත කණ්ඩායම සඳහා පහසුකම් සම්පාදනය කරන ලදි. මෙහිදී ද්වීපාර්ෂ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට ශ‍්‍රී ලංකාව සහ ජියා ඕෂෝ ප‍්‍රාන්තය එළැඹි අතර ඵලදායී වෙළෙඳ සංවර්ධන කාර්යන් සඳහා අවධානය යොමු කරන ලදි. චීනයේ ජියා ඕෂෝ ප‍්‍රාන්තයේ නගරාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය අතරතුර ද්වීපාර්ෂ්වික වෙළෙඳාම ප‍්‍රවර්ධනය හා වෙළෙඳ පහසුකම් සැපයීම සඳහා ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ වාණිජ කාර්යංශය ජියා ඕෂෝ සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹීය. එමෙන්ම ශ‍්‍රී ලංකා වාණිජ මන්ඩලය සමග එක් වෙමින් චීනයේ ෂෙන්හේ (Shenghe) ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ශ‍්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ නියෝජිත කාර්යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම ඇතුළුව වැඩිදුර කරුණු පිළිබඳව ද නියෝජිත පිරිස මෙහිදී සාකච්ඡා පැවැත්වීය.

    ජියා ඕෂෝ වෙළෙඳ දූත කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය තුළ ඔවුන් ප‍්‍රවාහන, බලශක්ති හා විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවූ අතර ශ‍්‍රී ලංකා වරාය සංචාරය තුළ වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ (Director Logistic) උපුල් ජයතිස්ස මහතා හමු විය.

    STI හෝල්ඩිංග්ස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ කොලින් ප‍්‍රනාන්දු මහතා මෙම සංචාරය පිලිබඳව අදහස් දක්වමින් ‘‘ ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය හා ස්ථායීතාව පිලිබඳව කැපවීමකින් කටයුතු කරන STI හෝල්ඩිංග්ස් මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වන දැවැන්ත ආයතන සමග ද්වීපාර්ෂ්වීය ගිවිසුම් සඳහා එළැඹීම අත්‍යවශ්‍ය සාධකයක් බව ප‍්‍රත්‍යක්ෂ කර ගෙන සිටිනවා. එබැවින් ගෝලීය ආර්ථික දැවැන්තයකු වන චීනයේ ජියා ඕෂෝ සමග සබඳතා ඇති කර ගැනීමේ කාර්යයෙහි කොටස්කරුවකු බවට පත්වීමට හැකි වීම සැබවින්ම අප ලද භාගය්‍යක්. ශ‍්‍රී ලංකාව ගෝලීය වශයෙන් කේන්ද්‍රීය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමට නම් වැඩි වශයෙන් ආර්ථිකයට වාසිදායක මෙබඳු අන්‍යොන්‍ය ගිවිසුම් සඳහා එළැඹීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි’’ යනුවෙන් පැවසීීය.

    STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනය සූර්ය බලශක්ති ජනනය, බලශක්ති ක්ෂේත‍්‍රයට අදාළ ඉදිකිරීම්, විදුලිබලය ආශ‍්‍රිත සේවා, විදුලිසංදේශ, යන ක්ෂේත‍්‍රයන්හි මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම බවට පත්ව සිටී. 1973 කුඩා සමාගමක් ලෙස ඇරඹි STI හෝල්ඩිංග්ස් බලශක්ති ක්ෂේත‍්‍රයේ නව තාක්ෂණයන් මෙරටට හඳුන්වාදුන් පුරෝගාමී සමුහ ව්‍යාපාරය බවට ද පත්ව සිටී. බලශක්ති උත්පාදනය, විදුලිබල ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය කෙරෙන වානේ ආශ‍්‍රිත උපාංග නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදනාගාරයක් සහිත මෙරට එකම සමාගම ලෙසත් STI හෝල්ඩිංග්ස් හැඳින්විය හැක. එමෙන්ම බලශක්ති සම්පේ‍්‍රෂණ කුළුණු නිෂ්පාදනය කරන මෙරට එකම පුද්ගලික ආයතනය වන STI හෝල්ඩිංග්ස් ශ‍්‍රී ලාංකිය බලශක්ති සම්පේ‍්‍රෂණ කටයුතු සඳහා 98‍% ක දායකත්වයක් ද ලබා දෙයි.

    STI හෝල්ඩිංග්ස් සෙන්ට් තෙරේසා ඉන්ඩස්ටී‍්‍රස්, සෙන්ට් තෙරේසා ඉන්ඩස්ටී‍්‍රස් කෙන්යා , සමුද්‍ර ලංකා , STI ප්‍රොජෙක්ට්ස් සහ SINO - STI කොපරේෂන් යන අනුබද්ධිත සමාගම් 5කින් සමන්විත වන අතර මේ සෑම සමාගමක්ම මෙරට දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙයි.