• 4G Router Home Delivery
  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL වෙතින් 4G Router Home Delivery සේවාවක්

August, 5, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම සේවාවන්  තවත්  පුළුල්කරමින් පාරිභෝගිකයන්ට පහසුවෙන් 4G රවුටර් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා 4G Router Home Delivery සේවාවක් හඳුන්වා දී තිබේ. 4G රවුටර් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම සේවාව නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති අතර, මේ නිසා මින් ඉදිරියට පාරිභෝගිකයන්ට SLT-MOBITEL සේවා මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් තොරව 4G රවුටර් සහ අන්තර්ජාල සම්බන්ධතාව ලබාගැනීමට හැකි වනු ඇත.

පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. එමෙන්ම ගමනාගමනය ඇතුළුව එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් විවිධාකාර වූ අභියෝග වලට මුහුණ දීමට සිදු වී ඇති මෙවන් කාලයක, සුපුරුදු කාර්යක්ෂම සේවාව පාරිභෝගිකයයන් වෙත පිරිනැමීමට SLT-MOBITEL නවතම පියවර රැසක්ද ගෙන තිබේ. මෙම 4G Router Home Delivery සේවාව එම උත්සාහයේ එක් පියවරකි.

4G Router Home Delivery සේවාව යටතේ අදාළ රවුටර් පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලබන්නේ mAgent වරුන් විසිනි. පාරිභෝගිකයන්ට 1717 අංකය අමතා හෝ www.sltmobitel.lk වෙත පිවිසී, තම තොරතුරු ලබා දී අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ හැකි අතර, රවුටරය හා සම්බන්ධතාව පාරිභෝගිකයා වෙතටම පැමිණ ලබාදීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. මේ සඳහා කිසිදු ආකාරයට ඩිලිවරි ගාස්තුවක් අය නොකෙරේ.

මෙම සේවාවේ අමතර අංගයක් ලෙස, පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් නව ජංගම දුරකථන සම්බන්ධතා මෙන්ම, තමන් සතුව පවතින සිම් පත වෙනුවට නව සිම් පතක් ඉල්ලා සිටීමටද අවස්ථාව ලබා දී ඇත.

ඉදිරියේදී පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් තවත් මෙවැනි නිර්මාණශීලී සේවාවන් රැසක් හඳුන්වා දීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • CFC
  • Regnis
  • Singer
  • sri lanaka

සිංගර් ශ්‍රී ලංකා සමාගම දේශීය නිෂ්පාදනය වැඩි කරමින්, මෙරට සංවර්ධනයට ශක්තියක් ලබා දෙයි

August, 5, 2022

සිංගර් ශ්‍රී ලංකා යනු  අත්‍යවශ්‍ය පාරිභෝගික ගෘහ භාණ්ඩ රැසක් නිපදවනු ලබන  සමාගමක් වන  අතර, ඇතැම් නිෂ්පාදන ලොව ඉහළ ම තාක්ෂණය භාවිත කරමින් 100% ක් දේශීයව නිෂ්පාදනය කරන බව පැවසිය යුතු ම කරුණකි. සිංගර් සමාගම මෙරට වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව සිය දේශීය නිෂ්පාදන ගෙන එයි. එමෙන් ම එම සමාගම සාධාරණ මිල ගණන් යටතේ, තත්ත්වයෙන් උසස්  නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා මනාව සැලසුම් කරන ලද නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නංවයි. දශක 6කට පෙර, සිංගර් මහන මැෂින් නිෂ්පාදනයෙන් ආරම්භ කෙරුණු සිංගර් දේශීය නිෂ්පාදන අංශය වර්තමානය වන විට ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදනය දක්වා පුළුල් වී ඇත.

Regnis යනු තත්ත්වයෙන් උසස් සිංගර් හා සිසිල් ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදනය කරන ප්‍රමුඛයා ලෙස හැඳින්විය හැකිය. 1988 දී අරඹන ලද Regnis කර්මාන්ත ශාලාව ආරම්භයේ සිට ම නවීන තාක්‍ෂණය මුසු වූ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර නව මාදිලිවලින්  මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමේ ප්‍රමුඛයා ලෙස සඳහන් කිරීම නිවැරදිය. මෙම නිෂ්පාදන අංශය, දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින්, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම, ඒ වෙනුවෙන් විවිධ පාරිභෝගික සමීක්ෂණ හා පර්‍යේෂණ කටයුතුවල ද නිරත වෙයි.

සිංගර් ශීතකරණ නිෂ්පාදනයේ දී නිරන්තරයෙන් ලොව ඉහළ ම  ප්‍රමිතීන් අනුගමනය කරයි. නවීන තාක්ෂණය, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය සහ 100% පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය යන කරුණු  කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නිපදවන සිංගර් ශීතකරණ, දකුණු ආසියාව තුළ නිෂ්පාදනය කෙරුණු ප්‍රථම  CFC රහිත ශීතකරණ නිෂ්පාදනය ලෙස සඳහන් කළ යුතු ම ය. තම දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින්, සිංගර් සමාගම සිය ශීතකරණ නිෂ්පාදන පෙළ Frost-Free, Direct Cool සහ Inverter යන තාක්ෂණ වලින්  වෙළෙඳපොළ වෙත නිකුත් කරන අතර වර්තමානය වන විට සිංගර් සහ සිසිල් සන්නාම යටතේ ශීතකරණ මිලියන එකහමාරකට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත.  ශීතකරණ නිෂ්පාදනය හා සමානව , දේශීය අවශ්‍යතාවන්ට සරිලන සිංගර් රෙදි සෝදන යන්ත්‍ර ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය යන මාදිලි දෙක යටතේ ම මෙරට වෙළෙඳපොළ වෙත නිකුත් කරන සිංගර් සමාගම, පසුගිය දශකය තුළ රෙදි සෝදන යන්ත්‍ර මිලියන 0.6කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ සමස්ත ශීතකරණ ඉල්ලුමෙන් 45%ක් සහ රෙදි සෝදන යන්ත්‍ර ඉල්ලුමෙන් 33%ක් පමණ සපුරාලීමට සමත් වී ඇත.

Regnis ලංකා කර්මාන්තශාලා අධ්‍යක්ෂ, කැලුම් කොස්ලපැවත්ත මහතා මෙසේ අදහස් දක්වන ලදි. "දේශීය නිෂ්පාදනයන් තුළින් රටේ දේශීය ආර්ථිකය නැංවීමට හැකි බව අපි තදින් ම විශ්වාස කරනවා.  දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් කුඩා ව්‍යාපාර හා දේශීය නිෂ්පාදකයින් නඟාසිටුවීමට අපි නිරන්තරයෙන්  සහයෝගය ලබා දෙනවා. සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන අංශය මගින් මේ රටේ කුඩා ව්‍යාපාර හිමියන්ගේ හා ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්ගේ  ව්‍යාපාරික්  දියුණුවට අවශ්‍ය පුහුණු පහසුකම් සහ ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි." යනුවෙනි.

සිංගර් දේශීය නිෂ්පාදන අංශය වර්තමානයේ දී අත්කරගෙන ඇති සාර්ථකත්වය එම සමාගමේ මෙන් ම සැපයුම් දාම, අමුද්‍රව්‍ය සැපයීම, කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු, බෙදාහැරීම් සහ ඇසුරුම් යන විවිධ ක්‍රියාවලීන් හි නිරත වන සියලු ම දෙනාගේ කැපවීමෙහි ප්‍රතිඵලයක් බව පැවසිය යුතු ම ය. දේශීය නිපැයුම් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම, නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම මෙන් ම නව ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික අවස්ථා උදා කර දීම වෙනුවෙන් සිංගර් සමාගම අද්විතීය කාර්‍යභාරයක් ඉටු කරයි. ඒ අනුව අද වන විට ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පමණක් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 400කට අධික සංඛ්‍යාවක්  උත්පාදනය කරමින්, සමස්තයක් ලෙස පවුල් 1000 කට වැඩි ප්‍රමාණයකට සවියක් වීමට සිංගර් සමාගමට හැකි වී තිබේ.

සිංගර් සමාගම දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිතව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන් ම, මෙරට  කුඩා ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට සහය වීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් දියත් කිරීමට ද කටයුතු කරයි. එය එම ව්‍යාපාරිකයින්ගේ  ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට මෙන් ම, ආදායම් උත්පාදන අවස්ථා සුරක්ෂිත කරගැනීම සඳහා  ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට ද මහත් ශක්තියක් බව පැවසිය යුතු ම ය. සිංගර් කණ්ඩායම දේශීය ව්‍යාපාරිකයින් දිරිගන්වන අතරතුර නව ව්‍යවසායකයින් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම සහ සහාය ලබා දෙන අතර, නව ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ද කටයුතු කරයි. රැකියා අවස්ථාවන් ලබා දීමට අමතරව අති දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සිංගර් සමාගම සමත් වී ඇති අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඇති මොහොතක මෙය අත්‍යවශ්‍ය ම සමාජ සත්කාරයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය.

උසස් තත්ත්වයෙන් යුත්, ගුණාත්මක නිපැයුම් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙන් ම,  වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් බිහි කරමින්  නවෝත්පාදනවල නිරත වන සිංගර් සමාගම සාධාරණ මිල ගණන් යටතේ සිය නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කිරීම කැපී පෙනේ. මේ නිසා ම ඉහළ පාරිභෝගික විශ්වාසයක් හා ආකර්ෂණයක් දිනාසිටින සිංගර්, අඛණ්ඩව නව තාක්‍ෂණය වැළඳ ගනිමින් දේශීය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන බව අවධාරණය කරයි.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Daraz
  • sri lanaka

කොමර්ෂල් බැංකුව, අඛණ්ඩව තෙවන වසරටත් ‘Daraz හි වඩාත්ම සකී‍්‍රය කාඩ්පත් පදනම’ සහිත බැංකුව ලෙස සම්මාන ලබයි

August, 5, 2022

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන ප‍්‍රදානයේදී පිට පිටම තුන්වන වසර සඳහාත් ‘වඩාත්ම සකී‍්‍රය කාඩ්පත් පදනම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී.

2021-22 මූල්‍ය වර්ෂය තුළ ක්‍රෙඩිට් සහ ඩෙබිට් යන කාඩ්පත් දෙවර්ගයෙන්ම වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සහ අනන්‍ය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකරමින් Daraz වෙළෙඳ වෙබ් අඩවිය සවිබල ගැන්වීම වෙනුවෙන් බැංකුවට මෙම සම්මානය හිමිවිය.

අඛණ්ඩව වසර තුනක් මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව ලෙසින්ද මෙහිදී කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

2021 ජනවාරි මාසයේ සිට සම්මානය ලබාදුන් කාල සීමාව දක්වා Daraz සමග එක්වී කාඞ්පත් ප‍්‍රවර්ධන වැඩසටහන් 18 ක් පැවැත්වූ බවත් ඒ තුළින් බැංකුවේ අන්තර්ජාල ගනුදෙනුකරුවන් විශාල ප‍්‍රමාණයක් මෙම වෙබ් අඩවිය තුළින් භාණ්ඩ මිලදී ගැනීමට දිරිමත් කළ බව බැංකුව සඳහන් කරයි. මේ හේතුවෙන් මේ වසරේදී වැඩිම ගෙවීම් ප‍්‍රමාණයක් මෙම වෙබ් අඩවිය ඔස්සේ සිදුකිරීමට කොමර්ෂල් බැංකුව දායකත්වය ලබාදී තිබේ. වසර පුරා පැවති මෙම ප‍්‍රවර්ධන වැඩසටහන් කොමර්ෂල් බැංකුව විසින් නිර්මාණය කර තිබෙන්නේ සිය කාඞ්පත් ගනුදෙනුකරුවන්ට උපරිම ප‍්‍රතිලාභ ලැබෙන අතරම පාර්ශවකාර වෙළෙඳ ආයතන සමග මනා බැඳීමක් ඇතිවන ආකාරයටයි.

2021-22 වසරේදී සිදුකළ අන්තර්ජාල ප‍්‍රවර්ධන වැඩසටහන් වලදී කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් වෙතින් Daraz වෙනුවෙන් වැඩිම අලෙවි ප‍්‍රමාණය ජනිත කළ අතර මෙයට ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සැණකෙළිය ලෙසින් සැලකූ ‘Daraz 11.11’ සහ ‘Daraz 12.12’ ඇතුළත් විය.

මෙම නවතම සම්මානය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු, නිශාන්ත ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘Daraz වැනි වෙබ් අඩවි මගින් නියෝජනය වන්නේ වර්තමාන සහ අනාගත ඊ-වාණිජ්‍යය අංශය පමණක් නෙවෙයි. ඒ තුළින් කොමර්ෂල් බැංකුව විසින් ඩිජිටල් සහ වෙබ් අඩවි පදනම් කරගත් බැංකුකරණ කටයුතු සාමාන්‍යය මහජනතාව අතරට ගෙන යෑමට දරන ප‍්‍රයත්නවලට ද සහයෝගය ලැබෙනවා. Daraz වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ජනිත කරන ගනුදෙනු ප‍්‍රමාණය ඉතාමත් ශක්තිමත්ව වර්ධනය වීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. එසේම, අනාගතයේදී Daraz වෙබ් අඩවිය සමග තව තවත් නව්‍ය ලෙස සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු නිශාන්ත ද සිල්වා මහතා (වමේ සිට තුන්වැන්නා) ඩරාස් කළමනාකාර අධ්‍යක්ෂ රක්හිල් ප‍්‍රනාන්දු මහතා අතින් ත්‍යාගය ලබාගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ නිළධාරී, විශාන් ප‍්‍රනාන්දු මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු කාලිංග දිවාරත්න මහතා මෙන්ම ඩරාස් ගෙවීම් අංශයේ ප‍්‍රධානී, දුලීක ජයමාන්න මහතා සහභාගී විය.

  • Ada Derana BIZ Sinhala
  • Buy1Give1
  • Daraz
  • Foundation of Goodness
  • sri lanaka

දුෂ්කරතා ඇති පවුල් 1000 කට අධික සංඛ්‍යාවක් වෙත Daraz “Buy1Give1” අතහිත

August, 4, 2022

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා Daraz විසින් 2022 මැයි මාසයේදී දියත් කළ “Buy1Give1” සමාජ සත්කාරක වැඩසටහන දීප ව්‍යාප්ත ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරිම උදෙසා Foundation of Goodness සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. එදිනෙදා ආහාරපාන අවශ්‍යතාවන් නිසි ආකාරයෙන් සපුරා ගැනීම දුෂ්කර වූ ශ්‍රී ලාංකිකයන් පිරිසකට යම් සහනයක් උදාකර දීම වෙනුවෙන් එකමුතු වන්නට කැමති Daraz පාරිභෝගිකයන්ට අවස්ථාවක් ලබාදෙමින් මෙම “Buy1Give1” වැඩසටහන ක‍්‍රියාත්මක කෙරිණ.

Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් "ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය උදෙසා නොනවතින සමාජ මෙහෙවරක නියැලි Daraz කිසිදා නොසිතූ ආකාරයකට සමස්ථ ශ්‍රී ලංකාවම අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින මෙවැනි බැරැරුම් අවස්ථාවකදීත් කළ හැකි හොඳම දේ කරන්නට වෙහෙසෙනවා. අප සමග එක්ව සිටින හිතවත් පාරිභෝගිකයන්ට කිසිදු ආකාරයකින් ඇවිටිලි කිරීමකින් හෝ බාධා කිරීමකින් තොරව, ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා අතරතුරදීම ස්ව කැමැත්තෙන් දායකත්වය ලබාදිය හැකි ආකාරයේ වැඩසටහනක් ලෙස Buy1Give1 අප හඳුන්වා දුන්නා. අප එක් රැස් කළ භාණ්ඩ නිසි ක‍්‍රමවේදයක් යටතේ විශ්වාසනීය ආකාරයෙන් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික පවුල් වෙත ලබාදීමට සුදුසුම සංවිධානයක් වන Foundation of Goodness සමග අත් වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වෙනවා.” යැයි පැවසීය.

Foundation of Goodness විසින් ක‍්‍රියාත්මක කරනු ලබන 23,000 කට අධික ශ්‍රී ලාංකික පවුල් රැසක් ප‍්‍රතිලාභ ලබන “Feed the Hungry” සහ “Goodness Boxes” වැඩසටහන් සඳහා Daraz විසින් ඇමරිකානු ඩොලර් 10, 000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 8,800 කට අධික ප‍්‍රමාණයක් 2022 ජූලි මස 18 වැනිදා භාර දෙන ලදී. Foundation of Goodness විසින් ඇස්තමේන්තු ගත කොට ඇති ආකාරයට මෙම Daraz “Buy1Give1” පරිත්‍යාගය සමග දුෂ්කරතා ඇති පවුල් 1000 ක අවශ්‍යතා සපුරාලිය හැකිය.

Foundation of Goodness නිර්මාතෘ / ප‍්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතා Daraz “Buy1Give1” පිළිබඳ අදහස් දක්වමින්” අප විසින් ක‍්‍රියාත්මක කොට තිබෙන Feed the Hungry වැඩසටහනට අවශ්‍යම මොහොතකදී ශක්තියක් වෙමින් Daraz ආරම්භ කළ Buy1Give1 ප‍්‍රවර්ධන වැඩසටහනේ සහයෝගය ලැබීම අපට මහත් ශක්තියක්. කොන්දේසි විරහිතව හා ඉල්ලීමකින් තොරව ලැබෙන ඕනෑම ත්‍යාගයක් ආදරයෙන් කරුණාවෙන් පිරිලා තිබෙනවා. අපේ රටේ අපේම මිනිසුන් පිරිසක් අපහසුතා මැද අසීරුවෙන් ජීවත්වන මොහොතකදී Daraz වෙතින් ලැබුණ මේ පරිත්‍යාගය සියළු ව්‍යාපාරික ආයතනයන්ට අගනා ආදර්ශයක්. Daraz නිසා උපකාර අවශ්‍යම පවුල් 1000 ක මිනිසුන්ගේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිතවලට ශක්තියක් වෙන්නට අපට හැකිවෙනවා.” යැයි පැවසීය.

නිර්මාණශීලී විද්‍යුත් වාණිජ විසඳුම් සපයන්නෙකු ලෙස ශ්‍රී ලාංකිකයන් අතර කීර්තිමත් Daraz සිය ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමේ මෙහෙවර තුළදීත් නිර්මාණශීලී නව ක‍්‍රමවේදයන් හඳුන්වා දී ඇත. ශ්‍රී ලාංකීය මහජන සුබ සාධනය වෙනුවෙන් ඉදිරියේදීත් Daraz තම දායකත්වය ලබාදීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ ලෙස ජනතා විශ්වාසය දිනාගත් daraz.lk යනු පකිස්තානය, බංගලාදේශය, නේපාලය හා මියන්මාරය යන රටවල්වල සාර්ථකව ක‍්‍රියාත්මක වන දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳපොළ නිර්මාණය කළ Daraz ජාලයේ සාඩම්බර සාමාජිකයෙකි. daraz.lk විසින් එදිනෙදා පරිභෝජනයට ඔබට අවශ්‍ය ආහාර පාන ඇතුළු භාණ්ඩ රැසක් ඔවුන්ගේ Daraz Mart වෙතින් ඉදිරිපත් කරනු ලබන අතර ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, ඇඳුම් පැළඳුම් විලාසිතා උපකරණ, ක‍්‍රීඩා භාණ්ඩ, සුරතල් සත්ත්ව නිෂ්පාදන යනාදී භාණ්ඩ වර්ග රැසක් ඔබේ අතැඟිලි තුඩක දුරින් එකමුතු කොට ඇත.

ලොව පවතින අති නවීනතම තාක්ෂණය, ඕනෑම ක්ෂේත‍්‍රයක භාණ්ඩ අලෙවිය වැඩි දියුණු කිරීමෙහිලා සමත් අලෙවිකරණ ක‍්‍රමෝපායන්, අසමසම දත්ත පද්ධතිය, දීප ව්‍යාප්ත සක‍්‍රීය බෙදාහැරීම් ජාලය, මිලදී ගැනීමේ පහසුව, සීඝ‍්‍රගාමී බෙදාහැරීමේ ක‍්‍රමවේදය, අලෙවියෙන් පසු විශිෂ්ඨ පාරිභෝගික සේවය සහ භාණ්ඩ නැවත භාරදීමට හැකි නම්‍යශීලී ක‍්‍රමවේදය Daraz ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳපොළ බවට පත්ව තිබේ. මිලියන 4. 5 කට අධික නිෂ්පාදන අලෙවි කරමින් Daraz තමා හා රැඳී සිටින 125, 000 කට අධික ලියාපදිංචි අලෙවිකරුවන් හා මිලියන 2. 5 ක පාරිභෝගිකයන් දෙපාර්ශ්වයේම අපේක්ෂා මැනැවින් ඉටු කිරීමෙහිලා කීර්තිමත් ය. Daraz සතු බෙදාහැරීම් ජාලය වන DEX විසින් දිනපතා Daraz සමග ලියාපදිංචි අලෙවිකරුවන්ගෙන් ඇනවුම් කරන ලද 50, 000 කට අධික පාර්සල් ප‍්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත බෙදා හරිනු ලබයි. ලොව ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ විසඳුම් සපයන්නෙකු ලෙස සුප‍්‍රකට Alibaba Group ශක්තිය සමග Daraz කලාපයේ වේගයෙන්ම වර්ධනය වන විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය බවට පත්ව තිබේ.

දිවයින පුරා දුෂ්කරතා ඇති පවුල් රැසක් වෙත බෙදා දීම සඳහා 8000 කට අධික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය Foundation of Goodness පදනම වෙත භාර දුන් අවස්ථාව

 

ඡායාරූප විස්තරය: Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා විසින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කට්ටලය Foundation of Goodness නිර්මාතෘ / ප‍්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතා වෙත ලබාදුන් අවස්ථාව

  • Ada Derana BIZ Sinhala
  • Allianz
  • Allianz Life Insurnace Lanka Limited
  • sri lanaka

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ කාගිල්ස් බැංකුව විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

August, 4, 2022

ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ (Allianz SE) සාමාජිකයෙකු වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz Life Insurnace Lanka Limited) මෑතකදී කාගිල්ස් බැංකුව සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. කාගිල්ස් බැංකුව යනු, ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන කාගිල්ස් සමූහයට අයත් බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ, කාගිල්ස් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත බැංකු ණය රක්ෂණාවරණ පිරිනැමීමට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙත අවස්ථාව ලැබේ. පසුගියදා කාගිල්ස් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී දෙපාර්ශවය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතාද, කාගිල්ස් බැංකුව වෙනුවෙන් එහි සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) ලසන්ත මහේන්ද්‍රරාජා මහතාද මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

නව හවුල් කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීමට දායක වන ප්‍රධානතම සමාගමක් වශයෙන් අප සෑම විටම නව හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමින් ගනුදෙනුකරුවන්ට වැඩි ප්‍රතිලාභ පිරිනැමීමට උත්සාහ කරනවා. දැවැන්ත ජාත්‍යන්තර රක්ෂණ සමූහයක සාමාජිකයෙකු වශයෙන්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම තලයේ රක්ෂණ විසඳුම් සමගින් උපරිම වටිනාකමක්, පහසුවක් හා ගුණාත්මක සේවාවක් පිරිනැමීමේ හැකියාව අප සතුයි. එම නිසා, ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී බැංකුවක් වන කාගිල්ස් බැංකුව සමග අත්වැල් බැඳගෙන, ශ්‍රී ලාංකිකයන්ට විශිෂ්ට මට්ටමේ මූල්‍ය සේවාවන් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය යටතේ ගනුදෙනුකරුවන්ට ප්‍රධාන වශයෙන් බැංකු ණය රක්ෂණාවරණ විසඳුම් ලබාගත හැකි වනු ඇත. බැංකු ණය රක්ෂණාවරණය යනු, ණය ලබාගත් තැනැත්තෙකුගේ අකල් මරණය සිදු වුවහොත් එම ණය බර ඔහුගේ හෝ ඇයගේ පවුලේ යැපෙන්නන් වෙත පැවරීම වළක්වන ණය රක්ෂණ විසඳුමක් වේ. මෙම ණය රක්ෂණය, එක් අතකින් ණය සේවාවන් වැඩිදියුණු කිරීමට දායක වනු ඇති අතර, අනෙක් අතින් මෙය ණය ලබාගන්නා ගනුදෙනුකරුවන්ට මුහුණ දීමට සිදුවන අවදානම්ද අවම කරයි. ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවන්ට ගැළපෙන තවත් සේවාවන් රැසක් හඳුන්වා දීමට දෙපාර්ශ්වය සැලසුම් කර ඇත.

කාගිල්ස් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) ලසන්ත මහේන්ද්‍රරාජා මහතා පවසා සිටියේ “සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දියුණුවේ මාවත් විවර කර දීමට කාගිල්ස් බැංකුව කැපවී සිටිනවා. මෙම හවුල්කාරීත්වය, ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත්, එක්ව දියුණුව කරා යාමටත් දෙපාර්ශ්වයටම උපකාරී වේවි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී බැංකුව මෙන්ම, කෘෂිකර්මාන්තය සහ අනෙකුත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සමග සමීපව ගනුදෙනු කරන බැංකුවක් වශයෙන්, අපගේ පොදු ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර තලයේ රක්ෂණ සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අප උත්සාහ කරන්නේ ඉක්මන්, කාර්යක්ෂම, විශ්වාසනීය හා නිර්මාණශීලී මූල්‍ය විසඳුම් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමටයි. ඩිජිටල් ක්‍රමයට සේවාවන් ලබා දීම තුළින් ක්ෂේත්‍රය තුළ අප පුරෝගාමී දායකත්වයක් ලබාදුන් අංශයක්. ඒ වෙනුවෙන් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් දක්වන කැපවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය යටතේ දිගින් දිගටම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමග සමීපව කටයුතු කරමින්, ගනුදෙනුකරුවන් වෙත නව විසඳුම් හා සේවාවන් පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙනි.

  • Ada Derana BIZ Sinhala
  • FlySmiLes
  • Miles
  • sri lanaka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් කෙයාර්ස් වෙත FlySmiLes හි Miles පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හඳුන්වාදෙයි

August, 4, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන FlySmiLes හි සාමාජිකයන්ට දැන් ඔවුන් උපයන  Miles ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන SriLankan Cares වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඔබ පරිත්‍යාග කරන ලද  Miles භාවිත කරමින් විශේෂ අවශ්‍යතා ඇති සහ විවිද රෝග වලට ලක්ව ඇති දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට හැකියාව ලැබෙනු ඇත.

FlySmiLes සාමාජිකයන්ට ඔවුන්‍ට හිමි Miles 1,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ශ්‍රීලංකන් කෙයාර්ස් වෛද්‍ය ප්‍රවේශපත්‍ර යෝජනා ක්‍රමයට ඔවුන් කැමති පරිදි පරිත්‍යාග කළ හැකිය. පසුව, FlySmiLes සාමාජිකයින්  විසින් සිදුකරන ලද පරිත්‍යාගය සඳහා  තවත් අමතර 25% ක් FlySmiLes වෙතින් ශ්‍රීලංකන් කෙයාර්ස් වෙත ප්‍රධානය කරනු ඇත. ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ශ්‍රීලංකාවේ දී සිදු කිරීමට අපහසු වෛද්‍ය  ප්‍රතිකාර සඳහා විදේශ ගතවීමට අපේක්ෂා කරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට සහ ජීවිත අවධානමක් ඇති රෝගීන් වෙත ගුවන් ටිකට්පත් නිකුත් කිරීමට පරිත්‍යාග කරන ලද සැතපුම් භාවිතා කරනු ඇත.

ශ්‍රීලංකන් කෙයාර්ස් වෛද්‍ය ප්‍රවේශපත්‍ර යෝජනා ක්‍රමය හරහා තෝරාගත් සෑම රෝගියකුගේ පවුලේ සාමාජිකයකු හෝ වෛද්‍ය වෘත්තිකයකු වැනි එක් සහකාරියක් සමඟින් සෞඛ්‍ය සේවා සඳහා තෝරාගත් ගමනාන්තයකට නොමිලේ ගුවන් ටිකට්පත් දෙකක් ලබාදෙනු ඇත. ශ්‍රීලංකන් කෙයාර්ස් සෑම වසරකම රෝගීන් විස්සක් දක්වා ප්‍රවේශපත්‍ර යුගල ලබාදීමට අපේක්ෂා කරයි.

FlySmiLes සාමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලද miles වලින් ප්‍රතිලාභ ලැබූ පළමු සාමාජිකයා වූයේ චෙසඳු අයෝද් ජයනන්ද පුතු වන අතර ඔහුට වයස අවුරුදු තුනේදී අක්මාව සම්බන්ධයෙන් රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. චෙසඳුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුට හැකි ඉක්මනින් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි Dr. Rela Institute & Medical Center හි අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කරන ලෙස නිර්දේශ කර තිබුණි. ශ්‍රීලංකන් කෙයාර්ස් සහාය ලබා ගැනීම‍ට පෙර ගමන් වියදම් සහ ශල්‍යකර්ම සඳහා ප්‍රමාණවත් අරමුදල් රැස් කිරීමේ උභතෝකෝටික ගැටලුවට චෙසඳුගේ දෙමාපියන් මුහුණ දුන්හ.

චෙසඳුගේ මව, මොනිකා තඹුගල මහත්මිය සිය කෘතඥතාව මෙසේ පළ කළේය, “මුදල් සොයා ගන්නේ කෙසේද යන්න ගැන සිතමින් සිටියදී, මම ශ්‍රීලංකන් කෙයාර්ස් ගැන සහ ඔවුන් අප වැනි අයට මෙවැනි අවස්ථාවන්හිදී උපකාර කරන ආකාරය දැනගත්තා. ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ඉන්දියාවට ගුවන් ටිකට්පත් ලබා දුන්නා.  මගේ දරුවාට 2022 ජූනි 6 වැනි දින සාර්ථකව සැත්කමක් සිදු කළා. මගේ ආදරණීය පුතුට අද නව ජීවයක් ලැබිලා  තියෙනවා. ඒ සඳහා උපකාර කළ ශ්‍රී ලංකන් කෙයාර්ස් වෙත සහ FlySmiLes හි miles ලබාදුන් කාරුණික පරිත්‍යාගශීලීන්ට මම ස්තූතිවන්ත වෙනවා. ”

  • Ada Derana BIZ Sinhala
  • SBTi
  • South Asia Textiles
  • sri lanaka

හරිතවත් අනාගතයක් වෙනුවෙන් තිරසාර සංවර්ධන ඉලක්ක සහතික කිරීම උදෙසා South Asia Textiles උපරිමයෙන් කැපවෙයි

August, 4, 2022

වර්තමාන ගෝලීය සංවර්ධනයේ ස්වභාවය අනුව අනාගත පරපුර සඳහා පරිසරය සුරකිමින් වත්මන් සංවර්ධනය පවත්වාගෙන යාම අභියෝගාත්මක බව පෙනීයයි. මෙම තත්වය යටතේ අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගැනෙන තිරසාර සංවර්ධන සංකල්පය වර්තමාන ලෝකයට ඉතා හොඳින් ගැලපෙන බව පෙන්වා දිය හැකිය. ඒ අනුව වර්තමාන පරපුරේ අවශ්‍යතා සපුරාලන අතරම අනාගත පරපුරේ අවශ්‍යතා සපුරාලීමට ද හැකිවන අයුරින් ආර්ථික සංවර්ධනය පවත්වාගෙන යෑම තිරසාර සංවර්ධන සංකල්පය තුළින් අදහස් වේ.

පෘථිවියේ පවත්නා සම්පත් ප‍්‍රමාණය සීමිත වන අතර එම සම්පත් වර්තමාන මිනිසාට මෙන්ම අනාගත පරපුරට ද පරිසරයේ වෙනත් ජීවීන්ට ද අයත්ය. මිනිස් ක‍්‍රියාකාරකම් හමුවේ ජෛව ගෝලයේ පවත්නා නිෂ්පාදන හැකියාව දිගුකාලීනව, අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව අවධාරණය කරනු පිණිස තිරසාර සංවර්ධනය නම් සංකල්පය නිර්මාණය වී ඇත.

රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන හේලීස් ෆැබ්රික් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන South Asia Textiles සිය මව් සමාගම අනුව යමින් තිරසාරත්වය කරා යන ගමනේදී හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5°C කට සීමා කිරීම සඳහා ගෝලීය SBTi (Science Based Targets initiative) වෙනුවෙන් කැපවී ඇත.

අනාගත පරපුරට හරිතවත් පරිසරක් දායාද කිරීමේ අරමුණින් හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5°C කට සීමා කිරීම සඳහා ගෝලීය SBTi වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ පළමු රෙදිපිළි නිෂ්පාදන සමාගම හේලීස් ෆැබ්රික් වන අතර South Asia Textiles එහි දෙවන ස්ථානයට පත්ව සිටියි. සමස්තයක් ලෙස SAT ප‍්‍රධාන ගෝලීය සංගතයන්හි දියුණුවන ලැයිස්තුවට ඇතුලත් වන්නා වූ නිෂ්පාදකයින් පස් දෙනාගෙන් දෙදෙනෙකි.

Hayleys PLC එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) වෙත ලගා වීම සඳහා හේලීස් සමූහයට අදාල සෑම අංශයක්ම මෙම හේලීස් Lifecode ක‍්‍රියාත්මක කිරීම උදෙසා බලගන්වයි. ඒ හරහා ESG ඉලක්ක සහ වටිනාකම් නිර්මාණය කරයි. හේලීස් Lifecode හි පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප‍්‍රතිපත්ති කළමනාකරණය කිරීම සඳහා වූ සමූහ ව්‍යාපාරයේ ප‍්‍රවේශය, එහි දිගුකාලීන සැලැස්ම, ESG පාලනය සහ අවදානම් කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව් කිරීම් ඇතුළත් වේ.

”අපගේ මව් සමාගම වන Hayleys PLC විසින් Hayleys Lifecode දියත් කිරීමත් සමඟම අපගේ සමාගමේ අවශ්‍යතා වලට සරිලන අපගේම සැලසුමක් හඳුන්වා දුන්නා. SBTi සඳහා වන අපගේ කැපවීමට සමගාමීව තිරසාරත්වය සඳහා ඇති ඉල්ලූමට සරිලන නිෂ්පාදන සැපයීම තුළින් අප ඉහළ වාසි අත්කරගෙන තියෙනවා.’’ යනුවෙන් South Asia Textiles සහ Hayleys Fabric කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

SAT විසින් තම පාරිසරික තිරසාරභාවය සහ සේවක සෞඛ්‍ය සහ ආරක්ෂිත පද්ධති ගෝලීය හොඳම භාවිතයන් හා සමගාමීව ඉහළ නැංවීම වෙනුවෙන් ISO 14001 සහ ISO 45001 සහතිකයන් ද මෑතකදී ලබා ගන්නා ලදී.

මෙම සහතික කිරීම් අනුගමනය කිරීමේදී සමාගම එහි අපජල පවිත‍්‍රාගාරය වැඩිදියුණු කිරීම සඳහා උසස් තත්වයේ ජල පෙරීමේ ඒකකයක් ස්ථාපනය කිරීම ඇතුළුව සැලකිය යුතු ආයෝජනයක් කළේය. එපමණක් නොව EHS ප්‍රොටෝකෝල සහ සම්මත මෙහෙයුම් ක‍්‍රියා පටිපාටි (SOPs) යාවත්කාලීන කිරීම, වැඩිදියුණු කිරීම, පුළුල් පුහුණු සහ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම සඳහා සමාගම විසින් සියලූම දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පරිසරය, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) කණ්ඩායම් පිහිටුවා ගන්නා ලදී.

1992 දී බ‍්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නගරයේ පැවති මිහිකත සමුළුවේ දී තිරසාර සංවර්ධනයේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබූ අතර ඒ සඳහා ආර්ථික, සමාජයීය සහ පාරිසරික අංශ අතර සමබරතාව ආරක්ෂා වන ආකාරයට සංවර්ධන ක‍්‍රියාවලිය සිදුවිය යුතු බව පෙන්වා දී ඇත. එලෙස හරිතවත් පරිසරයක් වෙනුවෙන් වූ කැපවීම සහ හරිතවත් අනාගතයක් වෙනුවෙන් වූ ඉලක්ක වෙත ලඟා වීම උදෙසා ඇති සැලැස්ම අවධාරණය කරමින් නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි සෑම අදියරකදීම තිරසාර සංවර්ධන උපායමාර්ග අනුගමනය කරන South Asia Textiles ඇතුළු Hayleys PLC වෙත රටක් ලෙස අප ස්තූතිවන්ත විය යුතුය.

  • Ada Derana BIZ Sinhala
  • IPG Group
  • LPL
  • sri lanaka

2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේදී

August, 4, 2022

ආර්ථිකය හා සංචාරක කර්මාන්තය නංවාලීමට අත්වැලක් වීමේ උත්සාහයක්

2022 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ. තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Group සමාගම කටයුතු කර ඇත.

IPG Sports සමාගම මගින් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. 2022 LPL තරගාවලිය ඔස්සේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් තුළ සතුට හා සුභවාදී හැඟීම් ඇතිකරවීමටත් IPG Groups සමාගම බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Group සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය සහ, එමගින් රටේ ආර්ථිකයට ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් වැඩිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. “මුලින් සැලසුම් කළ පරිදි තරගාවලිය පැවැත්වීමෙන් එම ඉලක්ක ළඟා කරගැනීමට අපහසු විය හැකි බව අපට පෙනී ගියා. දෙසැම්බර් මාසය වනවිට රටේ තත්ත්වය තවදුරටත් ස්ථාවර වේවි කියා අප සිතනවා. එවිට විදෙස් ක්‍රීඩකයන්ට තම පවුල් වල අයත් සමග මෙරටට පැමිණීමට  හැකිවේවි. එමෙන්ම විදෙස් ක්‍රීඩා ලෝලීන්ටත් කිසිදු ගැටලුවකින් තොරව තරග නැරඹීමට පැමිණීමට හැකියාව ලැබේවි. මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම, කාර්ය සම්පාදනය අතින් ගත්විට විශාල අභියෝගයක්. ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට මෙය සංවිධානය කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ඒ නිසා දැනට පවතින හොඳම විසඳුම වන්නේ, තරගාවලිය දෙසැම්බර් මාසය තෙක් කල්දැමීමයි. එමෙන්ම වර්තමානයේ රට තුළ පවතින අභියෝග සැලකිල්ලට ගත් විට, ඇතැම් අයට තරගාවලියේ සතුට නිසි පරිදි අත්විඳීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප දන්නවා. මේ සියල්ල නිසා, දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට, දෙසැම්බර් මසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට අප තීරණය කළා.” අනිල් මොහාන් මහතා වැඩිදුරටත් පැවසී ය.

තරගාවලිය 2022 අගෝස්තු මස 01 දින සිට 2022 අගෝස්තු 21 දින දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු 2022 ජූලි 05 දින අවසන් විය. වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ඩ්වේන් ප්‍රිටෝරියස්, එවින් ලුවිස්, සහ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් වැනි විදේශීය ක්‍රීඩකයන්ද ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්වී සිටිති.

“අපට පාලනය කළ නොහැකි සාධක නිසා තරගාවලිය කල්තැබීමට සිදු වුවත්, වඩාත් යහපත් තත්ත්වයන් යටතේ දෙසැම්බර් මාසයේදී මෙය වඩාත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙමගින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත්, ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම උපරිමයෙන් විඳගැනීමටත් අවස්ථාව ලැබේවි.” LPL 2022 තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසී ය.

තරගාවලිය පැවැත්වෙන නව දිනයන් සහ එහි සජීවී විකාශනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ඇත. පවතින තත්ත්වය අවබෝධ කරගෙන කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් IPG Group සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරගාවලියේ අනුග්‍රාහකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූතිය පළකර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanaka

පැල්වත්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව මුහුණුවරක්

August, 4, 2022

පැල්වත්ත සමාගම නිරන්තරයෙන්ම නැවුම් එළකිරි ආශ්‍රිත නිෂ්පාදන සපයන ජාතියේ විශ්වාසවන්තම කිරි නිෂ්පාදකයා ලෙස හැදින්විය හැකිය. පසුගියදා සමාගම සිය පරිපාලනය සහ නායකත්වය ශක්තිමත් කිරීම උදෙසා තවත් පියවරක් ගනු ලැබීය. දේශීය කිරි නිෂ්පාදනය මත පමණක් යැපෙන කිරි නිෂ්පාදන සන්නාම අතරින් ශ්‍රී ලංකාවේ නියමුවා බවට පත්වීමට සමාගම විශාල මෙහෙවරක නිරතව සිටී. එම මෙහෙවර සාර්ථක වීම උදෙසා ඒ පසුපස නිවැරදි පුද්ගලයින් සිටිය යුතුමය.

සමාගමෙහි නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස තේරී පත්වූ ලසන්ත සිල්වා මහතා වසර ගණනාවක කිරි කර්මාන්තයේ පළපුරුද්ද සහිත ප්‍රවීණයෙකු වශයෙන් හැඳින්විය හැකි ය. ඒ අතරම ඔහු නිෂ්පාදන සේවා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ද හිමිකරගෙන තිබේ. "ඕනෑම ආකාරයකින් රටට සේවයක් කිරීම අරමුණු කරගත් සන්නාමයක් වේනම් එය ඉතාම ගෞරවනීයයි. රටට සිදුකරන සේවය, සිය කර්මාන්තයට විශාල මෙහෙයක් ඉටු කරන කිරි ගොවි මහතුන්ගෙන් ආරම්භ කිරීම තුලින්, පැල්වත්ත සමාගම සියල්ලන්ටම ආදර්ශයක් සපයනවා. මෙවැනි ආයතනයක සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් සේවය කිරීමට ලැබීම මට විශාල ගෞරවයක්." ලසන්ත සිල්වා මහතා මෙසේ සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක පළපුරුද්දක් සහිත දර්ශන පෙරේරා මහතා වරලත් ගණකාධිකාරීවරයකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ද හිමිකරගෙන ඇත. ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස තෝරාපත් කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ගණකාධිකාරී සහ මූල්‍ය ප්‍රජාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දර්ශන මහතා තරුණ පිරිස් සඳහා ද සිය උපදේශකත්වය සපයා දී ඇත. සිය පත්වීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය. "කාර්යක්ෂම ව්‍යාපාර ක්‍රියාවලීන්ගෙන් යුතුව නිරන්තර නවෝත්පාදනයන්ට පෙළඹෙන මෙවැනි සංවිධානයක කොටස්කරුවෙක් වීමට ලැබීම මට මහත් ආඩම්බරයක් සහ සතුටක්. පැල්වත්ත සමාගමේ අනාගතය බොහොම දීප්තිමත්. මට හැකි උපරිමයෙන් සමාගමට සේවය කිරීමට මම බලාපොරොත්තු වෙනවා "

තවද බැංකු ක්ෂේත්‍රයේ ඉහලම නමක් හිමි වසර 30 කට වැඩි වෘත්තීය අත්දැකීම් සහිත තිලක් පියදිගම මහතා ව්‍යාපාර අවදානම් කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් තේරී පත්විය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති අතර එක්සත් රාජධානියේ ඉංජිනේරු කවුන්සිලයේ ද සාමාජිකයෙකි. තිලක් මහතා ද විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට තොරා පත් කර ඇත. ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටියේ ය "සන්නාමයක් වශයෙන් පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දක්වන සැලකිල්ල මම ඉතාම අගය කරනවා. ඔබ වෙත ලබාදෙන සෑම කිරි බින්දුවකම සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔවුන් දරන උත්සාහය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. එවන් ආයතනයකට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම දැනට ආයතනය අනුගමනය කරන භාවිතයන් දිගටම පවත්වාගෙන යාමටත් ඒවා වැඩිදියුණු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා."

දර්ශන සහ තිලක් යන මහත්වරුන් දෙදෙනාම, දීර්ඝ කාලීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම කීර්තිමත් මූල්‍ය අංශයේ ප්‍රවීණයෙකු වන හර්ෂල් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් විගණන කමිටුවට ද පත් කර තිබීම විශේෂත්වයකි. ඉහත නම් සඳහන් මහත්වරුන් කිරි කර්මාන්තය තුල පමණක් නොව, ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක පළපුරුද්ද සහිත ප්‍රවීණයන් වේ.  පැල්වත්ත සමාගමෙහි ඒකායන අපේක්ෂාව වන යම් දිනකදී රටට අවශ්‍ය සමස්ත ගෘහස්ත කිරි අවශ්‍යතාවය සපුරාලීමේ අභිප්‍රායට ලඟාවීමට මෙම විද්වත් මණ්ඩලය  මහඟු පිටිවහලක් වනු ඇත. ආරියසීල වික්‍රමනායක, අක්මාල් වික්‍රමනායක, ටොෂාන් වික්‍රමනායක සහ හර්ෂල් ගුණවර්ධන යන මහත්වරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Esela Perahara - 2022
  • Kandy
  • People's Leasing
  • sri lanaka

ඓතිහාසික මහනුවර ඇසළ මහ පෙරහැර මංගල්‍යය – 2022 සඳහා පීපල්ස් ලීසිං සමාගමද සිය අනුග්‍රාහකත්වය දක්වයි

August, 3, 2022

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (පීපල්ස් ලීසිං), ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය හා  ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික උත්සවයක් වන ”කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය” සඳහා අනුග්‍රාහකත්වයක් පසුගියදා පිරිනැමීය. පිපල්ස් ලීසිං සමාගම වසර ගණනාවක සිට ශ්‍රී දළදා පෙරහැර සඳහා සිය අනුග්‍රාහක  දායකත්වය සපයයි.

රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් ^NBFI&වන පීපල්ස් ලීසිං සමාගම විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2011 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම, බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 

ජායාරූප විස්තරය : පීපල්ස් ලීසිං සමාගමෙහි ප්‍රධාන කළමනාකරු (ණය අය කර ගැනීම් -මධ්‍යම කලාපය) සමන් ලියනගේ මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත අනුග්‍රාහක ලිපිය පිරිනැමූ අවස්ථාව, මේ අවස්ථාවට  පීපල්ස් ලීසිං මහනුවර ශාඛාවේ ශාඛා කළමනාකරු සේනක මුණසිංහ මහතාද එක් විය