• Ada Derana BIZ Sinhala
  • Bandula Gunawardena
  • Ella Tourism Zone
  • Railway Department
  • Road Development Authority
  • sri lanka
  • Urban Development Authority

ඇල්ල සංවර්ධනයට ඒකාබද්ධ පොදු සැලැස්මක්

January, 11, 2023

ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  ඇල්ල සංවර්ධන වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධානතම මාර්ගයක්‌ ලෙස සංචාරක කර්මාන්තය වෙත මේ මොහොතේ ප්‍රමුඛ අවධානයක් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්. විශේෂයෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ඇල්ල ප්‍රදේශය සංචාරක කර්මාන්තය උදෙසා වඩාත් විධිමත්ව සංවර්ධනය කිරීම ඉතාමත් වැදගත්. පසුගියදා අතිගරු ජනාධිපතිතුමා එම ප්‍රදේශ නිරීක්ෂණය කරමින් එහි වැදගත්කම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ ඒ වෙනුවෙන් කටයුතු කල යුතුයි. පරිසරයට හා ජන ජීවිතයට බලපෑමක් සිදු නොවන පරිදි මෙම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. දැනට අවිධිමත්ව සිදුවන සංචාරක ව්‍යාපාරය වඩාත් විධිමත් කර දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙම ප්‍රදේශයට ලබා ගැනීම තුළින් වැඩි ආයෝජන අවස්ථාවන් සහ විදේශ විනිමය ඉපයීමේ හැකියාවද ඉහල යනු ඇති.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග හා මාර්ග රක්ෂිත ආශ්‍රිතව කරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳව විධිමත් සැලසුමකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම සංචාරකයින්ට වඩාත් හිතකර ලෙස පවතින පහසුකම් ඉහල නැංවීම උදෙසා රාජ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයෝජකයින්ට අවස්ථාවක් ලබා දීම මූල්‍ය අර්බුදයක් පවතින මේ අවස්ථාවේ වඩාත් කාලෝචිතයි.

ඒ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව සතු හඳුනාගත් ආයෝජන වටිනාකමකින් යුතු ඉඩම් සුදුසු ආයෝජන සඳහා දීර්ඝකාලීනව ලබාදීම තුළින් වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

එහිදී විශේෂයෙන් ඇල්ල ජල පෝෂක ප්‍රදේශය හා පාරිසරික වටිනාකමට හානි නොවන පරිදි මෙම කටයුතු සිදු කිරීම හා අධීක්ෂණය කිරීම ඉතාමත් වැදගත්."

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍යංශ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Bandula Gunawardena
  • economic recession
  • free trade agreements
  • sri lanka

ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතුයි – බන්දුල

November, 29, 2022

රටේ පවත්නා ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතු බවත්, මෙරටට අවාසි සහගත තත්වයන් වළක්වාගෙන වාසි සහගත තත්වයන් ඇතිකරන නිදහස් වෙළඳ ගිවිසුම්වලට වැඩි වශයෙන් යා යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

විදේශ විනිමය අර්බුදය ජයගැනීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු තත්වයක් බවත්, ගෝලීයකරණය යටතේ ලොව කිසිදු රටකට තනිව දියුණු වීමට නොහැකි බවත්, සෑම රටක්ම තවත් රටවල් සමඟ ගිවිසුම්ගතවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු තත්වයක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ ගිවිසුම්ගතවීමේදී අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසි සහිතව මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.