• Ada Derana BIZ Sinhala
  • Asanga Uduwela
  • DFCC Bank
  • sri lanka

DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස අසංග උඩුවෙල මහතා පත් වේ

November, 23, 2022

DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස, 2022 නොවැම්බර් 08 දින සිට ක්‍රියාත්මක වන පරිදි, අසංග උඩුවෙල මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මීට පෙර දශක 3 කට අධික කාලයක් හැටන් නැෂනල් බැංකුවෙහි සේවය කළ ඒ මහතා, අවසාන වශයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මෙහෙයුම් තනතුර හෙබවී ය. තම වෘත්තීය ජීවිතය තුළ ඉහළ පෙළේ තනතුරු රාශියක් හොබවා ඇති උඩුවෙල මහතා, ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ ක්‍රියාවලි කළමනාකරණය ඇතුළු විවිධ විෂයපථයන් සම්බන්ධයෙන් සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබේ.  මින් ඉදිරියට DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස ඒ මහතා, ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය බැංකුවක් බවට පත්වීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය තුළ සුවිශේෂී භූමිකාවක් ඉටුකරනු ඇත.

හැටන් නැෂනල් බැංකුවේ සිය දීර්ඝ සේවා කාලය තුළ උඩුවෙල මහතා ශාඛා මෙහෙයුම්, මධ්‍යගත මෙහෙයුම්, මධ්‍යගත මුදල් කළමනාකරණය, ATM යන්ත්‍ර කළමනාකරණය, මධ්‍යගත අභ්‍යන්තර කාර්යාලයීය කටයුතු, අභ්‍යන්තර හා බාහිර ප්‍රේෂණ, තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීම සහ මධ්‍යගත ණය පරිපාලනය යනාදිය අධීක්ෂණය කළේය. එමෙන්ම Finacle ප්‍රධාන බැංකුකරණ මෘදුකාංගයේ වැඩිදියුණු කළ සංස්කරණයක් භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය තුළ, එම ක්‍රියාවලිය කළමනාකරණය කළ කණ්ඩායමට නායකත්වය දීමද ඔහු විසින් සිදුකරන ලදි. ඊට අමතරව, පරිවර්තනයන් සාර්ථකව සිදුකිරීම, ඵලදායීතාව නැංවීම සහ ක්‍රියාවලි වඩාත් කාර්යක්ෂම කිරීම යනාදිය වෙනුවෙන් ඒ මහතා Deloittes වැනි බාහිර උපදේශක සමාගම් සමග සමීපව කටයුතු කර තිබේ. තවද උඩුවෙල මහතා ණය ඇගයීම සහ කළමනාකරණය, මුදල් සහ වත්කම් කළමනාකරණය, නායකත්වය සහ ක්‍රියාවලි කළමනාකරණය සහ ‘Toyota Work Ethics’ යනාදිය සම්බන්ධයෙන් පිළිවෙළින් NIBM, පූනේ, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලය සහ නගෝයා හි ටොයෝටා සමාගම වෙතින් පුළුල් මට්ටමේ පුහුණුවක් ලබාගෙන ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ (ගෞරව) උපාධිධාරියෙකු වන අසංග උඩුවෙල මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) හිමිකරගෙන ඇති අතර, Omega Credit Administration විශේෂ සහතිකකරණයද හිමිකරගෙන තිබේ. පෞද්ගලික ජීවිතයේදී තම පවුලට බෙහෙවින් ළැදි පුද්ගලයෙකු වන උඩුවෙල මහතා, බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වයි. තම තරුණ වියේදී ජාතික මට්ටමින් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වී ඇති ඒ මහතා, පසුකාලීනව තම සේවා ස්ථානය නියෝජනය කරමින් බැඩ්මින්ටන් තරගාවලි කිහිපයකටම සහභාගී වී ඇත.

 

ඡායාරූප විස්තරය - DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංග උඩුවෙල මහතා

  • Ada Derana BIZ Sinhala
  • DFCC Bank
  • Kandy City Centre
  • sri lanka
  • Visit Kandy 2022

DFCC බැංකුව, Kandy City Centre සංවිධානය කළ “Visit Kandy 2022” ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

September, 28, 2022

DFCC බැංකුව, පසුගියදා Kandy City Centre විසින් සංවිධානය කරන ලද "Visit Kandy 2022" වැඩසටහනේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. මෙම වැඩසටහන 2022 අගෝස්තු 10 සිට 13 දක්වා පැවැත්විණි. වෙළඳ කුටි, ආයතනික ප්‍රවර්ධන වැඩසටහන්, ආහාරපාන අලෙවි කුටි, දරුවන් සඳහා විනෝද ක්‍රියාකාරකම් සහ සංස්කෘතික ඉසව් වැනි බොහෝ දේ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබිණි. මෙහිදී තම විසඳුම් හා සේවාවන් එකතුව විශාල පිරිසක් වෙත හඳුන්වා දීමට DFCC බැංකුවට අවස්ථාව හිමි විය.

DFCC බැංකුවේ ප්‍රාදේශීය ශාඛා වල කාර්ය මණ්ඩලයන් විසින්, එම බැංකුවේ සේවාවන් පිළිබඳව මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීම සිදුකරන ලදි. DFCC බැංකුවේ උප සභාපති/ Pinnacle සහ Branch Banking Planning & Implementation ප්‍රධානී ශේරා හසන් මහත්මිය, එම බැංකුවේ උප සභාපති ටෙරන්ස් ඇතුගල සහ ප්‍රාදේශීය කළමනාකරු ඇතුළුව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. බැංකුවේ තිරසාරත්ව ඉලක්ක අතර එක් ප්‍රධානතම ඉලක්කයක් වන කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට සමගාමීව, DFCC ආලෝකා ව්‍යවසයිකාවන් දිරිගැන්වීමටද මෙහිදී කටයුතු කරන ලදි.

“මේ සුවිශේෂී ඉසව්වට සහභාගී වීමට හැකිවීම මට මහත් සතුටක්. මෙහි පැතිරී තිබුණු සතුට සහ ජවය අපට සිතාගන්නට බැරි තරම්. අපගේ ව්‍යවසායිකාවන්ට තම නිෂ්පාදන, සේවාවන් හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම, ඔවුන්ට තම ඉලක්ක ළඟා කරගැනීමට උපකාරී වන ‘DFCC ආලෝකා’ ගිණුම සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප හදවතින්ම සතුටු වනවා.” ශේරා හසන් මහත්මිය පැවසුවා ය.

Women's Finance Initiative (We-Fi) යටතේ DFCC ආලෝකා ගිණුම හරහා මෙරට ව්‍යවසයිකාවන් හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන වෙතින් ලැබුණු ප්‍රතිපාදන බෙදාහැරීමට DFCC බැංකුව කටයුතු කර තිබේ. 2021 වසරේදී අදාළ අරමුදල් ප්‍රමාණය මෙන්ම We-Fi වැඩසටහනේ තවත් ප්‍රදානයන්ද භාවිතා කරමින් DFCC බැංකුව විසින් ව්‍යවසායිකාවන් 10 දෙනෙකුට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා අවස්ථාවන් උදාකර දෙන ලදි. 2022 වසරේදීද මෙම මෙහෙවර වෙනුවෙන් බැංකුව දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් යොදවා ඇති අතර, ඉතිරි අරමුදල් ප්‍රමාණයෙන් තවත් ව්‍යවසායිකාවන් පිරිසකට අත්වැලක් සැපයීම සඳහා මේ වනවිට පියවර ගනිමින් සිටී. මෙය ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීමට මෙන්ම රටේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දියුණුව සැලසීමටද මහෝපකාරී වනු ඇත.

DFCC ආලෝකා යනු ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී ගිණුමකි. DFCC ආලෝකා ගිණුම යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වූ ප්‍රතිලාභ පිරිනමන, සන්නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්‍රතිලාභ රාශියක් හිමි වේ.  රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාත හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු  සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාත යටතේ උකස් සේවාවන්, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්‍රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ.

රටේ දියුණුවට සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීමට කාන්තාවන්ට හැකියාව ඇති බව DFCC බැංකුව විශ්වාස කරයි. එම නිසා DFCC ආලෝකා ගිණුම ඇතුළුව විවිධ ක්‍රමවේදයන් ඔස්සේ, ඔවුන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය හා මූල්‍යමය නොවන සහයෝගය ලබාදීම සඳහා DFCC බැංකුව සෑම විටම කැප වී සිටී.

DFCC බැංකුවේ උප සභාපති/ Pinnacle සහ Branch Banking Planning & Implementation ප්‍රධානී ශේරා හසන් මහත්මිය

  • Ada Derana BIZ Sinhala
  • DFCC Bank
  • sri lanaka

DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපායට සමගාමීව බලශක්තිය ඉතිරි කිරීමේ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවයි

July, 7, 2022

කාටත් ගැළපෙන බැංකුව ලෙස හැඳින්වෙන DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපාය ඔස්සේ සියලුම දෙනාට අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. මෙම ක්‍රමෝපාය 2020 වසරේදී හඳුන්වා දෙන ලද්දේ, 2030 වසර වන විට මෙරට තුළ තිරසාරත්වයට ඉහළම දායකත්වයක් ලබාදෙන බැංකුව බවට පත්වීමේ දැක්ම පෙරදැරිව, ඉදිරි දශකය තුළ බැංකුවේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමේ අරමුණිනි.

මෙම තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ, 2020-2030 වසර වන විට කාබන්-ශූන්‍ය (Carbon Neutral) බැංකුවක් බවට පත්වීම, ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය සේවා සම්බන්ධයෙන් ප්‍රමුඛතම තේරීම බවට පත්වීම සහ 2030 වසර වනවිට තිරසාර රාජකාරි ජීවන රටාවකට හුරුවීම යන ප්‍රධාන ඉලක්ක ළඟා කරගැනීමට DFCC බැංකුව උත්සාහ දරයි.

බලශක්ති කාර්යක්ෂමතාව සහ විදුලිය ඉතිරිකිරීම යනු, කාබන් උදාසීන බැංකුවක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ දෙකක් බවට DFCC බැංකුව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින බලශක්ති අර්බුදය හමුවේ මෙය විශේෂයෙන් වැදගත් වේ. මේ අනුව, තම සමස්ත ශාඛා ජාලය පුරාම බලශක්තිය පිරිමැසුම්දායක ලෙස භාවිතා කරන අතරම, තම මෙහෙයුම් මගින් පරිසරයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා බැංකුව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. බලශක්තිය සුරකින අතරම දීර්ඝකාලීනව පුනර්ජනනීය බලශක්තිය භාවිතයට යොමුවීම බැංකුවේ තවත් අරමුණක් වී තිබේ.

‘DFCC Energy Saving App’ යනු, බලශක්තිය ඉතිරි කිරීම සහ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා DFCC බැංකුව භාවිතා කරන ප්‍රධානතම ක්‍රමවේදයන්ගෙන් එකකි. බැංකුව විසින්ම නිර්මාණය කරන ලද මෙම යෙදවුම, බැංකුවේ සමස්ත ජාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ පුරෝකථනය කිරීම සිදුකරයි. තවද පාරිසරික කළමනාකරණ පද්ධතියක් ලෙසද ක්‍රියාකරන එය, ‘Energy Dashboards’ හරහා විශ්ලේෂණය සඳහා දත්ත ලබාගැනීම, සකස් කිරීම හා ප්‍රදර්ශනය කිරීම සිදුකරයි. රටා හඳුනාගැනීම සහ වෙනස්කම් විශ්ලේෂණය කිරීම ඇතුළු තවත් විශ්ලේෂණ රාශියක්ද මෙමගින් දැකගත හැකි වේ.

“රට තුළ පවතින අභියෝග හමුවේ අපගේ බලශක්ති භාවිතය අවම කරගැනීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, අපගේ බලශක්ති අනුකමිටුව විසින් මේ බලශක්ති ඉතිරිකිරීමේ යෙදුම හඳුන්වා දෙනු ලැබුවා. එය අපගේ ජාලය තුළ බලශක්තිය භාවිතා වන ආකාරය සම්බන්ධයෙන් වටිනා තොරතුරු ලබාදෙනවා. මීට අමතරව, බලශක්තිය ඉතිරි කිරීම දිරිගන්වන තරග වැනි විවිධාකාර වැඩසටහන් ක්‍රියාවට නැංවීමටත් අප පියවර ගත්තා. බලශක්තිය ඉතිරි කිරීම සහ පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම තුළින්, මේ අතිශය වැදගත් ප්‍රයත්නයට අපගේ කාර්ය මණ්ඩලයේ උපරිම දායකත්වය ලබාගැනීමටත් අපට හැකි වී තිබෙනවා.” DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

2024 වසර වනවිට තම අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු වලදී කඩදාසි භාවිතය 100% ක්ම නැවැත්වීම සහ සමස්තයක් ලෙස  එය 50% කින් අඩු කිරීම DFCC බැංකුවේ ඉලක්කය වී තිබේ. මේ සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් අතරින් ප්‍රධානතම වැඩසටහන වන්නේ "Paperless Certification Program" නම් වැඩසටහනයි. මෙම වැඩසටහන යටතේ, බැංකුවේ සියලුම අංශයන් තුළ කඩදාසි භාවිතය අවම වශයෙන් 85% කින් අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ, ඉන් අනතුරුව අදාළ ක්‍රියාවලි ස්වාධීනව පරීක්ෂාවන්ට ලක්කර කඩදාසි රහිත බවට තහවුරු කිරීමට දිරිගන්වනු ලැබේ. මෙයට බැංකුවේ කාර්ය මණ්ඩලයෙන් පුළුල් සහයෝගයක් ලැබුණ අතර, එමගින් වාර්ෂික කඩදාසි භාවිතය සැලකිය යුතු මට්ටමකට අවම කරගැනීමට හැකියාව ලැබිණි.

එමෙන්ම මේ වනවිට DFCC බැංකුව, කඩදාසි භාවිතයෙන් තොරව ඩිජිටල් ක්‍රමයට ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. මෙමගින් බැංකුවේ කඩදාසි භාවිතය තවදුරටත් අවම වනු ඇති අතරම, ගනුදෙනුකරුවන්ට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ගිණුම් විවෘත කිරීමට හැකි වනු ඇත.

DFCC බැංකුව මේ වනවිට කුරුණෑගල, මීගමුව සහ රාමනායක මාවත ශාඛාවල සූර්ය බලශක්ති පද්ධති සවිකර, ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් ශාඛා වලද එවැනි පද්ධති සවිකිරීමට සැලසුම් කර තිබේ. මේ නිසා පසුගිය වසර කිහිපය තුළ ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට බැංකුව හැකියාව ලැබිණි.

පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම සඳහා මූල්‍ය පහසුකම් සපයමින්, වඩාත් තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. DFCC බැංකුව සිය හරිත මූල්‍ය සම්පාදන මෙහෙවර ආරම්භ කළේ 1988 දී සූර්ය PV මොඩියුල එකලස් කිරීමේ කම්හලකට අරමුදල් සැපයීමත් සමගිනි. ඊට අමතරව ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ ප්‍රථම පෞද්ගලික කුඩා ජලවිදුලි ව්‍යාපෘතිය මෙන්ම සුළං, සූර්ය සහ අපද්‍රව්‍ය-බලශක්තිය ව්‍යාපෘති සහ ජෛව ස්කන්ධ මත පදනම් වූ ඒකාබද්ධ තාප බල ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රාශියකට DFCC බැංකුව අරමුදල් සම්පාදනය කර තිබේ. තවද පියසි මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති රාශියක් සඳහා බැංකුව අරමුදල් සපයා ඇති අතර, 1997 වසරේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් හඳුන්වා දීමට ද පුරෝගාමී විය. එය අද දක්වාම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන සඳහා අදාළ වන වැඩ රාමුවේ මූලික පදනම ලෙස සැලකේ.

  • Ada Derana BIZ Sinhala
  • DFCC Bank
  • sri lanaka
  • World Bicycle Day

DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපායට සමගාමීව ලෝක පාපැදි දිනය සමරයි

June, 28, 2022

මෙරට බැංකු ක්ෂේත්‍රයේ පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ බැංකුවක් වන DFCC බැංකුව පසුගියදා ලෝක පාපැදි දිනය සැමරීමට කටයුතු කළේ ය. සෑම වසරකම ජූනි 03 වන දිනට යෙදෙන ලෝක පාපැදි දිනය, සරල, ලාභදායී, පරිසර හිතකාමී සහ සෞඛ්‍යයට හිතකර ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදියේ වැදගත්කම අවධාරණය කරයි. මෙම දිනය සැමරීම සඳහා DFCC බැංකුව තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් පාපැදි වලින් රාජකාරියට පැමිණීමේ දිනයක් ප්‍රකාශයට පත්කළ අතර, පාපැදි කරුවන් 30 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව කිලෝමීටර් 15 ක පාපැදි සවාරියක්ද සංවිධානය කළේ ය.

එමෙන්ම පාපැදි භාවිතයේ ආචාරධර්ම, ආරක්ෂක විධිවිධාන, පාපැදියෙන් රැකියාවට පැමිණීම මගින් ලැබෙන වාසි සහ තමන්ට වඩාත්ම හොඳින් ගැළපෙන පාපැදියක් තෝරාගන්නා ආකාරය යනාදී කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලද අතර, කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම පෙන්වා දීම, DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම අංගයකි. මේ යටතේ තම කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව උත්සාහ කරයි.

එමෙන්ම DFCC බැංකුව 2020 වසරේදී මාසික පාපැදි දිනයක් ප්‍රකාශයට පත්කරමින්, එය නොකඩවා පවත්වාගෙන යන ප්‍රථම බැංකුවයි. හෝර්ටන් පෙදෙසේ නව ‘DFCC Pinnacle’ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව මෙය සංවිධානය කරන ලද අතර, එම අවස්ථාවට බැංකුවේ ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්වූහ. පාපැදියෙන් රැකියාවට පැමිණීම සහ ජීවන රටාවේ අංගයක් ලෙස පාපැදි භාවිතා කිරීම ප්‍රචලිත කිරීම සඳහා සුළුවෙන් ආරම්භ කළ මෙම වැඩසටහන ඉතා සුළු කාලයක් තුළ බෙහෙවින් ජනප්‍රිය වූ අතර, මේ වනවිට බැංකුවේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පාපැදි භාවිතා කරති. විශේෂයෙන්ම මධ්‍යම, උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතර පාපැදි භාවිතය මෑතකාලීනව බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

මාසික පාපැදි දිනයන් සංවිධානය කරනු ලබන්නේ DFCC බැංකුවේ සුවතා කමිටුව සහ මානව සම්පත් අංශය විසිනි. මේ සඳහා ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසකගේ නොමඳ සහයෝගය හිමි වේ. පාපැදි භාවිතය ජීවන රටාවේ අංගයක් බවට පත්කරමින් තම කාර්ය මණ්ඩලය අතර එය ප්‍රචලිත කිරීම සඳහා DFCC බැංකුව සිය සන්නාමය සඳහන් ඇඳුම් කට්ටල හඳුන්වා දී ඇති අතර, පාපැදි මිලදී ගැනීමට බලාපොරොත්තු වන සාමාජික සාමාජිකාවන්ට ඒ සඳහා මූල්‍ය සහය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබේ.

වැඩමුළුවේ සම්පත් දායකයන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග

(වමේ සිට) EnduranceLab සහ Colombo Cycling School Sri Lanka හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන පුහුණුකරු මිතුන් ලියනගේ, DFCC බැංකුවේ උප සභාපති (අලෙවි හා තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න, Wurth Lanka කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් අමීර්තයියා, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, Visa හි අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධන - ශ්‍රී ලංකාව සහ මාලදිවයින) ෂෙරෝන් මෙන්ඩිස්, F J&G De Seram හි ප්‍රධාන හවුල්කාරිනී සහ ප්‍රධානී අයෝමි අලුවිහාරේ ගුණවර්ධන සහ DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මානව සම්පත්) සොනාලි ජයසිංහ යන මහත්ම මහත්මීන්

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • DFCC Bank
  • sri lanaka

DFCC බැංකුව පසුගිය වෙසක් සමයේ වටිනා සමාජ සත්කාරයක නියැළෙයි

June, 9, 2022

DFCC බැංකුව තම තිරසාර සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන්, පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පවුල් රැසකට වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලාංකේය පුරවැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් DFCC බැංකුව විසින් මෙම ප්‍රජා සත්කාරය සඳහා යොදවන ලදි. ඒ අනුව, බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායට අනුකූලව, කළමනාකාරීත්වය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශාඛා 25 ක් තෝරාගැනුණු අතර, ඒ ඔස්සේ වෙසක් සමයේ ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් 250 කට වියළි ආහාර කට්ටල ලබාදීම සිදුවිය.

මෙම වැඩසටහන යටතේ අදාළ ප්‍රදේශ වල රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, වියළි සලාක ලබාදීම සඳහා සෑම ශාඛාවක්ම පවුල් 10 බැගින් තෝරාගන්නා ලදි. මෙය හුදෙක් ගනුදෙනුකරුවන්ගෙන් ඔබ්බට ගොස් ප්‍රජාවට යහපතක් සිදුකිරීම සඳහා DFCC බැංකුව දැරූ තවත් සුවිශේෂී උත්සාහයක් විය. එමෙන්ම DFCC බැංකුව මෙම සත්කාරය තුළදීද තිරසාරත්වය සඳහා වන සිය කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කරමින්, පොලිතීන් බෑග් හෝ කාඩ්බෝඩ් පෙට්ටි වෙනුවට මෙම වියළි ආහාර සලාක බෙදාදීම සඳහා පරිසර හිතකාමී සහ නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතා කරන ලදි.

“කාටත් ගැළපෙන බැංකුව වශයෙන් අප ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවන්ට අතිශයින් සංවේදීයි. ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී ඇති මේ මොහොතේ, අප සියලු දෙනාම අපගේ වගකීම ඉටුකළ යුතු වනවා. මේ අදහස මුල්කරගෙන, අපගේ තිරසාරත්ව ක්‍රමෝපායෙන් පන්නරය ලබමින්, වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් මේ අර්ථවත් සමාජ සත්කාරය සඳහා යෙදවීමට අප තීරණය කළා. වෙසක් මංගල්‍යයේ සැබෑ අරුත පරිද්දෙන්ම, අපට වඩා දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මිනිසුන්ට පිරිසකට මෙලෙස පිළිසරණක් වීමට ලැබීම අපට මහත් සතුටක්. අපට හැකි පරිදි අප තෙමගුල සමරන අතරතුර, ආලෝකය, සාමය හා සෞභාග්‍යය සපිරි නව යුගයක් ඉතසිතින් ප්‍රර්ථනා කරමු.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ අංශ ප්‍රධානී (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙම වැඩසටහන යටතේ මාතර, බදුල්ල, නාවල, මහනුවර, කදුරුවෙල, මීගමුව, යාපනය, ලේක් හවුස්, කළුතර, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, රත්නපුර, ගම්පහ, බණ්ඩාරවෙල, ත්‍රිකුණාමලය, මඩකලපුව, දඹුල්ල, ගම්පොල, මාතලේ, නුවර එළිය, අම්පාර, ඇඹිලිපිටිය, මොණරාගල, සහ හම්බන්තොට යන ශාඛාවන් හරහා වියළි ආහාර සලාක බෙදාදීම සිදුකරන ලදි.

DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ එහි තිරසාරත්ව අරමුණ වන්නේ, අභියෝග වලට වඩාත් හොඳින් මුහුණ දිය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම ය. මේ අනුව, බැංකුවේ 2030 තිරසාර ඉලක්ක සහ වැඩසටහන්, ඉදිරි දශකය තුළ මුහුණ දීමට සිදු විය හැකි අවිනිශ්චිතතාවන් සඳහා බැංකුව සහ දේශය සවිබල ගැන්වීමේ අරමුණින් සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ හරිත මූල්‍යකරණයට සම්බන්ධ පුරෝගාමී බැංකුවක් ලෙස ඉදිරියට ඒමට කටයුතු කරන අතරම, 2030 වර්ෂය වන විට තම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගනිමින් පුද්ගලික, ආයතනික සහ ජාතික මට්ටමින් අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම බැංකුවේ අරමුණ වේ.