December, 19, 2022
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුව (IPD) හා එක්ව යුරෝපා වෙළඳපොළට අපනයනකරුවන් හඳුන්වාදෙන සාර්ථක වැඩසටහනක් පසුගියදා නිමා කරන ලදි. මේ යටතේ යුරෝපා සංගමයේ (EU) වෙළඳපල වෙත සෘජු අපනයනකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩසටහනට සහභාගීවූ අපනයනකරුවන්ට අවස්ථාව හිමිවිය.
2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය විසින්, ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුවේ(IPD) සහයෝගය ඇතිව ශ්රී ලංකාවේ ස්වභාවික අමුද්රව්ය අංශයට සම්බන්ධ ව්යවසායන් සඳහා යුරෝපා සංගමයේ (EU) වෙළඳපල ප්රවේශය විවෘත කිරීම උදෙසා පුළුල් පරාසයක ක්රියාකාරකම් සිදු කරන ලදී. සිව් වසරක වැඩසටහන තුළ තෝරාගත් ව්යවසායන් සඳහා ධාරිතා සංවර්ධනය, වෙළඳපල තොරතුරු, ආනයන රෙගුලාසි, නිෂ්පාදන ප්රමිතිය හා ආයතනික සමාජ වගකීම් ඇතුළු අනෙකුත් අනුකූලතාවය පිළිබද අවබෝධය, ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනවලට එලදායී ලෙස සහභාගීත්වය වැනි ක්ෂේත්ර සඳහා ඉඩකඩ විවර කරන ලදි. මෙම ආධාර යෝජනා ක්රමය යටතේ BIOFACH, SIAL, Food Ingredients Europe, සහ ANUGA වැනි ප්රමුඛතම ආහාරපාන ප්රදර්ශන සඳහා සහභාගී වීමේ අවස්ථාව ද ප්රතිලාභීන්ට හිමි විය.
මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ව්යවසායන් වූයේ: Woga Naturals Pvt Ltd, Waguruwela Oil Mills Pvt Ltd, Lihini Nature Products Pvt Ltd, Pasanka Pvt Ltd, Asian Agro Products Pvt Ltd, Manchiee De Coco Pvt Ltd යන ආයතනයන්ය. තෝරාගත් ආයතන පොල් ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු, විජලනය කළ පලතුරු, ටින් කළ කොස්, ඖෂධ පැළෑටි, ඹෂධීය තේ සඳහා අමුද්රව්ය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන පෙළක් අපනයනය කරයි. ප්රතිලාභී අපනයනකරුවන් දකුණ, මධ්යම සහ වයඹ ඇතුළු රටේ සියලුම ප්රදේශ නියෝජනය කරයි.යුරෝපා සංගමයේ වෙළඳපල ප්රවේශය සඳහා සුදුසුකම් ලැබීමට ISO, ORGANIC, HACCP වැනි සහතික කිරීමේ පූර්ව අවශ්යතා සහභාගිවන්නන් සතු විය යුතු අතර මෙම අපනයන කරුවන් අදාල සහතික සම්පූර්ණ කරන ලදි.
වැඩසටහන සාර්ථකව නිමකළ සමාගම් වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් 9 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී යුරෝපා සංගම් වෙළඳපොළ ප්රවේශ අවශ්යතා පිළිබඳ පුහුණුව ලැබූ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හත් දෙනෙකු (7) සඳහා ද සහතික ප්රදානය කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය සඳහන් කලේ 2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුව (IPD) හා එක්ව විශාල වැඩ කොටසක් සිදුකර ඇති බවත් එහි ප්රතිඑල මෙම අපනයනකරුවන්ගේ සාර්තකත්වය තුලින් පෙනී යන බවත්ය.එසේම නව අපනයනකරුවකු බිහිකිරීම සඳහා යම් කාලයක් ගතවන බවත් ඒ සඳහා අවශ්ය සුදුසුකම් සපුරා ගැනීමට තෝරාගත් අපනයනකරුවන්ගේ කැපවීම ඉතා වැදගත් වන බව ද සඳහන් කරන ලදි.
“යුරෝපා සංගමයේ වෙළෙඳපොළට ඇතුළුවීමේ අවශ්යතා පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමෙන් දැනුම හුවමාරු වේදිකාවක් නිර්මාණය කිරීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වන අතර පුහුණුව ලැබූ නිලධාරීන් ශ්රී ලංකාවේ අපනයනකරුවන්ගේ ප්රජාව සමඟ දැනුම බෙදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යි, – IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze පවසා සිටියාය.
ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුව, ජර්මනියේ සහ යුරෝපයේ ආනයනකරුවන්, සංචාරක ක්රියාකරුවන් හා තෝරාගත් හවුල්කාර රටවල සමාගම් අතර දිගුකාලීන වෙළඳ සබඳතා ප්රවර්ධනය කරන අතර යුරෝපීය වෙළඳපලවල ඉල්ලුම පිළිබඳ සෘජු දැනුවත් කිරීම් සහ වෙළඳ ප්රවර්ධනය සඳහා තිරසාර ව්යුහයන් ශක්තිමත් කිරීමට සහය ලබා දෙයි.
මෙම වැඩසටහන සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්රධාන විධායක සුරේෂ් ඩී ද මෙල් මහතා, වැඩබලන අධ්යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය, IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze, ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුවේ (IPD) Expert Sourcing and Purchasing නිලධාරී - Angie Martinez, Asian Agro Products (Pvt) Ltd ආයතනයේ සැලසුම් සහ සහතික කළමනාකරු Jacob Fernando, සහභාගී වූ අපනයන සමාගම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

December, 12, 2022
ශ්රී ලංකා රාජ්ය මූල්ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද සම්මාන උලෙළේදී හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සම්මාන-2022 සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ව්යවස්ථාපිත මණ්ඩල කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. මෙම වාර්ෂික උත්සවය උසස් තත්ත්වයේ මූල්ය වාර්තාකරණය ප්රදර්ශනය කරන රාජ්ය අංශයේ ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කරයි.
August, 31, 2022
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්රී ලංකාවේ සැකසූ ආහාර සහ පාන (Food and Beverage) අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 සැප්තැම්බර් 6 වන දින පෙරවරු 9.30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්යාපාරවල නියුතු ව්යවසායකයින්, නව ව්යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.
මෙම අන්තර්ජාල සැසිය (Webinar) ඔස්සේ ආහාර පාන අංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්යවසායකයින් හට ජාත්යන්තර වෙළඳපොළ තුල පවතින අවස්ථා පිළිබඳ අවබෝධය ලබාදීමට අදහස් කෙරේ. එහිදී මෙම ක්ෂේත්රයේ ගෝලීය වෙළඳපල සහ ප්රවණතා, වත්මන් අපනයනෙ වෙළඳපළ සංයුතිය හා දිශානතිය, වෙළඳපොළ තරඟකාරිත්වය, අපනයන වෙළඳපොළට පිවිසීමේදී සපුරාලිය යුතු අවශ්යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ අධ්යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ අපනයන කෘෂිකර්ම අංශයේ සහකාර අධ්යක්ෂිකා ගයනි විජේතිලක මහත්මිය විසිනි.
සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. https://www.edb.gov.lk/event/exportmarkets වැඩිදුර තොරතුරු සඳහා නිපුණි මුණසිංහ, අපනයන ප්රවර්ධන නිලධාරිනී අමතන්න - nipuni@edb.gov.lk / Tel: 0112300716

Video Story