• Ada Derana BIZ Sinhala
  • Bandula Gunawardena
  • Ella Tourism Zone
  • Railway Department
  • Road Development Authority
  • sri lanka
  • Urban Development Authority

ඇල්ල සංවර්ධනයට ඒකාබද්ධ පොදු සැලැස්මක්

January, 11, 2023

ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  ඇල්ල සංවර්ධන වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධානතම මාර්ගයක්‌ ලෙස සංචාරක කර්මාන්තය වෙත මේ මොහොතේ ප්‍රමුඛ අවධානයක් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්. විශේෂයෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ඇල්ල ප්‍රදේශය සංචාරක කර්මාන්තය උදෙසා වඩාත් විධිමත්ව සංවර්ධනය කිරීම ඉතාමත් වැදගත්. පසුගියදා අතිගරු ජනාධිපතිතුමා එම ප්‍රදේශ නිරීක්ෂණය කරමින් එහි වැදගත්කම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ ඒ වෙනුවෙන් කටයුතු කල යුතුයි. පරිසරයට හා ජන ජීවිතයට බලපෑමක් සිදු නොවන පරිදි මෙම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. දැනට අවිධිමත්ව සිදුවන සංචාරක ව්‍යාපාරය වඩාත් විධිමත් කර දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙම ප්‍රදේශයට ලබා ගැනීම තුළින් වැඩි ආයෝජන අවස්ථාවන් සහ විදේශ විනිමය ඉපයීමේ හැකියාවද ඉහල යනු ඇති.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග හා මාර්ග රක්ෂිත ආශ්‍රිතව කරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳව විධිමත් සැලසුමකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම සංචාරකයින්ට වඩාත් හිතකර ලෙස පවතින පහසුකම් ඉහල නැංවීම උදෙසා රාජ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයෝජකයින්ට අවස්ථාවක් ලබා දීම මූල්‍ය අර්බුදයක් පවතින මේ අවස්ථාවේ වඩාත් කාලෝචිතයි.

ඒ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව සතු හඳුනාගත් ආයෝජන වටිනාකමකින් යුතු ඉඩම් සුදුසු ආයෝජන සඳහා දීර්ඝකාලීනව ලබාදීම තුළින් වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

එහිදී විශේෂයෙන් ඇල්ල ජල පෝෂක ප්‍රදේශය හා පාරිසරික වටිනාකමට හානි නොවන පරිදි මෙම කටයුතු සිදු කිරීම හා අධීක්ෂණය කිරීම ඉතාමත් වැදගත්."

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍යංශ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Ella Tourism Zone
  • President
  • sri lanka

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනයට – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

December, 16, 2022

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ පැවැති සාකච්ඡාවේ දී ය.

සංචාරක ආකර්ශණයට ලක්ව ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ආකර්ශනයට බාධා නොවන අයුරින්, සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කර ගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

පළමු අදියර යටතේ ඇල්ල සංචාරක කලාපය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශණීය ගමනාන්තයක් බවට පත් කරන බවත් අනතුරුව සමස්ත ඌව පළාතම සංචාරක ආකර්ශණය දිනාගත් තෝතැන්නක් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇල්ල ප්‍රදේශය වෙත පැමිණ සිටී දෙස්, විදෙස් සංචාරකයන්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

ඇල්ල කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව එකතුව නිර්මාණය කරගත් සංචාරක කලාපයක්. එය දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. නව සුවිසල් සංවර්ධන සැලැස්මක් අනුව මේ සංචාරක කලාපය දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි මතුව ඇති ගැටළු සඳහා කෙටි කාලීන විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.

අද මාලදිවයිනට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 500ක් පමණ වියදම් කරනවා . හැබැයි ඇල්ල ප්‍රදේශයට එන විදෙස් සංචාරකයෙක් දිනකට වියදම් කරන්නේ ඩොලර් විස්සයි. මේ තත්ත්වය අපි වෙනස් කළයුතුයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පුහුණු සේවකයන් අවශ්‍යයි. පසුගිය කොරෝනා වසංගත සමයේ පළපුරුදු සංචාරක සේවකයන් රට අත්හැර ගියා. ඒ අය ඉතා හොඳ අත්දැකීම් තිබෙන ‍සේවකයින්.සංචාරකයින් පැමිණෙන්නේ හොඳ සේවාවක් අපේක්ෂාවෙනුයි. එම සංචාරකයන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපට පුහුණු සේවකයින් අවශ්‍ය වෙනවා.

මේ සුවිසල් සංවර්ධන වැඩසටහන යටතේ විශිෂ්ඨ සංචාරක සේවාවක් ඇතිකිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම ඌව පළාතට එන සංචාරකයින් අවම වශයෙන් දින 07ක්වත් මෙහි රඳවා ගැනීමට හැකිවන පරිදි අපි නව සැලසුම් සකස් කළ යුතුයි.

ඒ වගේම නැගෙනහිර පළාතට පැමිණෙන සංචාරකයින් ඉන් අනතුරුව ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළවෙළක් සකස් කළ යුතුයි. මත්තල ගුවන්තොටුපල දියුණු කර මත්තලින් මෙරටට පැමිණෙන සංචාරකයින් කෙලින්ම ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් අපගේ නව සංවර්ධන සැලැස්මට ඇතුළත් විය යුතුයි. මෙම සැලසුම් කෙටිකාලිනව සහ දිගුකාලීනවත් මෙරට ආර්ථිකයේ දියුණුවට බලපානවා.
සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා. ඒ සඳහා සහාය ලබාදෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී ඇල්ල ව්‍යාපාරිකයන් ඉදිරිපත් කළ ‍බොහෝ ගැටළුවලට එම මොහොතේම විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කළහ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් , බදුල්ල දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු සහ ඇල්ල ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .