December, 19, 2022
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුව (IPD) හා එක්ව යුරෝපා වෙළඳපොළට අපනයනකරුවන් හඳුන්වාදෙන සාර්ථක වැඩසටහනක් පසුගියදා නිමා කරන ලදි. මේ යටතේ යුරෝපා සංගමයේ (EU) වෙළඳපල වෙත සෘජු අපනයනකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩසටහනට සහභාගීවූ අපනයනකරුවන්ට අවස්ථාව හිමිවිය.
2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය විසින්, ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුවේ(IPD) සහයෝගය ඇතිව ශ්රී ලංකාවේ ස්වභාවික අමුද්රව්ය අංශයට සම්බන්ධ ව්යවසායන් සඳහා යුරෝපා සංගමයේ (EU) වෙළඳපල ප්රවේශය විවෘත කිරීම උදෙසා පුළුල් පරාසයක ක්රියාකාරකම් සිදු කරන ලදී. සිව් වසරක වැඩසටහන තුළ තෝරාගත් ව්යවසායන් සඳහා ධාරිතා සංවර්ධනය, වෙළඳපල තොරතුරු, ආනයන රෙගුලාසි, නිෂ්පාදන ප්රමිතිය හා ආයතනික සමාජ වගකීම් ඇතුළු අනෙකුත් අනුකූලතාවය පිළිබද අවබෝධය, ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනවලට එලදායී ලෙස සහභාගීත්වය වැනි ක්ෂේත්ර සඳහා ඉඩකඩ විවර කරන ලදි. මෙම ආධාර යෝජනා ක්රමය යටතේ BIOFACH, SIAL, Food Ingredients Europe, සහ ANUGA වැනි ප්රමුඛතම ආහාරපාන ප්රදර්ශන සඳහා සහභාගී වීමේ අවස්ථාව ද ප්රතිලාභීන්ට හිමි විය.
මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ව්යවසායන් වූයේ: Woga Naturals Pvt Ltd, Waguruwela Oil Mills Pvt Ltd, Lihini Nature Products Pvt Ltd, Pasanka Pvt Ltd, Asian Agro Products Pvt Ltd, Manchiee De Coco Pvt Ltd යන ආයතනයන්ය. තෝරාගත් ආයතන පොල් ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු, විජලනය කළ පලතුරු, ටින් කළ කොස්, ඖෂධ පැළෑටි, ඹෂධීය තේ සඳහා අමුද්රව්ය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන පෙළක් අපනයනය කරයි. ප්රතිලාභී අපනයනකරුවන් දකුණ, මධ්යම සහ වයඹ ඇතුළු රටේ සියලුම ප්රදේශ නියෝජනය කරයි.යුරෝපා සංගමයේ වෙළඳපල ප්රවේශය සඳහා සුදුසුකම් ලැබීමට ISO, ORGANIC, HACCP වැනි සහතික කිරීමේ පූර්ව අවශ්යතා සහභාගිවන්නන් සතු විය යුතු අතර මෙම අපනයන කරුවන් අදාල සහතික සම්පූර්ණ කරන ලදි.
වැඩසටහන සාර්ථකව නිමකළ සමාගම් වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් 9 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී යුරෝපා සංගම් වෙළඳපොළ ප්රවේශ අවශ්යතා පිළිබඳ පුහුණුව ලැබූ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හත් දෙනෙකු (7) සඳහා ද සහතික ප්රදානය කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය සඳහන් කලේ 2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුව (IPD) හා එක්ව විශාල වැඩ කොටසක් සිදුකර ඇති බවත් එහි ප්රතිඑල මෙම අපනයනකරුවන්ගේ සාර්තකත්වය තුලින් පෙනී යන බවත්ය.එසේම නව අපනයනකරුවකු බිහිකිරීම සඳහා යම් කාලයක් ගතවන බවත් ඒ සඳහා අවශ්ය සුදුසුකම් සපුරා ගැනීමට තෝරාගත් අපනයනකරුවන්ගේ කැපවීම ඉතා වැදගත් වන බව ද සඳහන් කරන ලදි.
“යුරෝපා සංගමයේ වෙළෙඳපොළට ඇතුළුවීමේ අවශ්යතා පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමෙන් දැනුම හුවමාරු වේදිකාවක් නිර්මාණය කිරීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වන අතර පුහුණුව ලැබූ නිලධාරීන් ශ්රී ලංකාවේ අපනයනකරුවන්ගේ ප්රජාව සමඟ දැනුම බෙදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යි, – IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze පවසා සිටියාය.
ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුව, ජර්මනියේ සහ යුරෝපයේ ආනයනකරුවන්, සංචාරක ක්රියාකරුවන් හා තෝරාගත් හවුල්කාර රටවල සමාගම් අතර දිගුකාලීන වෙළඳ සබඳතා ප්රවර්ධනය කරන අතර යුරෝපීය වෙළඳපලවල ඉල්ලුම පිළිබඳ සෘජු දැනුවත් කිරීම් සහ වෙළඳ ප්රවර්ධනය සඳහා තිරසාර ව්යුහයන් ශක්තිමත් කිරීමට සහය ලබා දෙයි.
මෙම වැඩසටහන සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්රධාන විධායක සුරේෂ් ඩී ද මෙල් මහතා, වැඩබලන අධ්යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය, IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze, ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුවේ (IPD) Expert Sourcing and Purchasing නිලධාරී - Angie Martinez, Asian Agro Products (Pvt) Ltd ආයතනයේ සැලසුම් සහ සහතික කළමනාකරු Jacob Fernando, සහභාගී වූ අපනයන සමාගම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

October, 19, 2022
සුළු හා මධ්යම පරිමාණ ව්යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්ය විසඳුම් ලබාදීමට තවත් ප්රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ්රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ.
මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත්රයේ සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් කෙරෙහි කොමර්ෂල් බැංකුව දක්වන කැපවීම මෙන්ම අපනයනකරුවන්ගේ ව්යාපාර වර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීමට පූර්ණ ජාත්යන්තර බැංකුකරණ හැකියාවන් සහ විශේෂඥතාවය ලබාදීම සිදු කරන බව බැංකුව සඳහන් කරයි.
මෙම අවබෝධතා ගිවිසුමට කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සහකාර සාමාන්යාධිකාරී - පුද්ගලික බැංකුකරණ එස්. ගනේෂන් මහතා සහ ශ්රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ මෙහෙයුම් අධ්යක්ෂ, මේනකා වන්නිආරච්චි මහත්මිය විසින් අත්සන් කරන ලදී.
ඉහළ මට්ටමේ දේශීය වැදගත් කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස ශ්රී ලංකා මහ බැංකුව විසින් වර්ගීකරණය කර තිබෙන කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ රාජ්ය, පුද්ගලික සහ විශේෂිත බැංකු අතුරින් සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරික ක්ෂේත්රයට වැඩිම ණය මුදලක් ලබාදී තිබෙන තනි බැංකුව වන අතර මෙරට අපනයන වලින් 18% කට වැඩි ප්රමාණයකට කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයනු ලැබේ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සහකාර සාමාන්යාධිකාරී - පුද්ගලික බැංකුකරණ එස්. ගනේෂන් මහතා සහ ශ්රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ මෙහෙයුම් අධ්යක්ෂ, මේනකා වන්නිආරච්චි මහත්මිය අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් ආකාරය. මෙම අවස්ථාවට බැංකුවේ කළමනාකාරීත්වයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.
Video Story