• Ada Derana BIZ Sinhala
  • Bandula Gunawardena
  • economic recession
  • free trade agreements
  • sri lanka

ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතුයි – බන්දුල

November, 29, 2022

රටේ පවත්නා ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතු බවත්, මෙරටට අවාසි සහගත තත්වයන් වළක්වාගෙන වාසි සහගත තත්වයන් ඇතිකරන නිදහස් වෙළඳ ගිවිසුම්වලට වැඩි වශයෙන් යා යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

විදේශ විනිමය අර්බුදය ජයගැනීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු තත්වයක් බවත්, ගෝලීයකරණය යටතේ ලොව කිසිදු රටකට තනිව දියුණු වීමට නොහැකි බවත්, සෑම රටක්ම තවත් රටවල් සමඟ ගිවිසුම්ගතවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු තත්වයක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ ගිවිසුම්ගතවීමේදී අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසි සහිතව මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • free trade agreements
  • Government
  • sri lanka

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය

November, 21, 2022

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද සමන් ඒකනායක මහතා පැවසීය.

මෙම සංවර්ධන ක්‍රියාපිළිවෙතෙහි අවසාන ප්‍රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින් ඊට නිර්මාණශීලීව දායකවන ලෙස ද ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම අදහස් පළ කළේ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුවත් කිරීම සඳහා පසුගිය 16දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡවේදී ය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු, වෙළඳ සහ කර්මාන්ත යන අමාත්‍යාංශ ලේකම්වරුන් සහභාගී වූ මෙම සාකච්ඡාවට ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සාමාජිකයින්ද එක්ව සිටියහ.

ගෝලීය වෙළඳාම අද වනවිට එහි ගතානුගතික සීමාවන් අභිබවා ගෝලීය නිෂ්පාදන ජාලයන් දෙසට නැඹුරු වී ඇති අතර තවමත් ශ්‍රී ලංකාවට ඊට අනුගත වෙමින් එහි ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් සැපයුම් ධාරිතාව වර්ධනය සහ වෙළෙදපොළ ප්‍රවේශය පුළුල් කර ගැනීම යන කරුණු දෙකම දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව සිංගප්පූරුව සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති අතර ආයෝජන වෙළෙඳ අන්තර් – සම්බන්ධතාව හරහා භාණ්ඩ හා සේවා වෙළෙඳාමට ප්‍රතිලාභ ලබාදීම සඳහා සෘජු විදේශ ආයෝජන විශාල ලෙස ආකර්ශණය කරගත හැකි ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජය මේ වන විට මූලික පියවර ගෙන ඇත.

ඇණහිට ඇති මෙම සාකච්ඡා නැවත පණ ගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර මෙම ගිවිසුම් අවසානයේ දී ලෝක ආර්ථිකයෙන්, වෙළඳාමෙන් හා ජනගහනයෙන් 30% ක හිමිකාරිත්වයක් සතු කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මාවත විවර කර දෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, දේශීය ආර්ථිකය තුළට ණය නොවන ගලා ඒම්හි මෙන්ම අපනයන නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. ‍

එසේම 2023 අයවැය යෝජනාවක් ලෙස, සියලුම ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සිදු කිරීම සඳහා ස්ථාපිත කිරීමට යෝජිත, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (ITO) සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම සාකච්ඡා ක්‍රියාවලියේ දී වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට විදේශ දූත මණ්ඩල සහ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් යාන්ත්‍රණය පූර්ණ සූදානමකින් පසුවන බවයි.

රජයේ සැලැස්මට අනුව යෝජිත ආයතනික යාන්ත්‍රණය නිසි ලෙස ස්ථාපිත වූ පසු එය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කෙරනු ඇති අතර ඒ හරහා ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡා සිදු කෙරෙනු ඇති බව ඇය සඳහන් කළාය.

පෞද්ගලික අංශයේ නියෝජිතයන්ද ඉතා උනන්දුවෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ශ්‍රී ලාංකික අපනයනවලට විදේශ වෙළඳපොළ පුළුල් කර ගැනීම් සහ පවත්නා වෙළඳපොළ රැක ගැනීමේ යෝජනා පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ඕවුහු පෙන්වා දුන්හ.

අපනයන භාණ්ඩ සඳහා තීරුබදු ඉවත් කර ගැනීමට සමගාමීව කෝටා සීමාවන්, ප්‍රමිති පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්, අන්‍යොන්‍ය ප්‍රමිතීන් හඳුනාගැනීමේ ගිවිසුම්වලට එළැඹීම වැනි අපනයනකරුවන් ප්‍රායෝගිකව මුහුණ දෙන තීරු බදු නොවන අනෙකුත් ගැටළු කෙරෙහි ද මෙම ගිවිසුම් මගින් අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.

එසේම වෙළෙඳ සාකච්ඡා ක්‍රියාවලිය පුරාවටම පුද්ගලික අංශය සමඟ නිරන්තර පුළුල් සංවාදයක් අදාළ රාජ්‍ය ආයතන හරහා පවත්වන බවට ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව මෙහිදී තහවුරු කරන ලදී.