• Ada Derana BIZ Sinhala
  • India
  • liquid milk
  • milk products
  • sri lanka

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

January, 5, 2023

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිස අතර ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) හා අමුල් (Amul) කිරි සමාගම එක්ව ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබිණි.

එම කමිටුවේ සාමාජිකයින් සහ ඉන්දියානු ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ (NDDB) නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර අදාළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

ඉන්දීය ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ පළමු ලේකම් ආචාර්ය රාකේෂ් පාන්ඩේ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • India
  • milk production
  • sri lanka
  • technical assistance

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ තාක්ෂණික සහාය

December, 5, 2022

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

ඊට අදාළව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) සහ ඉන්දියානු Amul කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම‍ට පියවර ගෙන තිබෙන අතර එහි මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කෙටි සහ මධ්‍යකාලීන සැලසුම් ක්‍රියාත්මක කරමින් දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ කර ගැනීම පිළිබඳව සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ දිගුකාලීනව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය නිමල් සමරනායක, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍හා රේඛීය ආයතනවල නිලධාරීන් ද, ඉන්දියානු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි රජේශ් ඔන්කර්නාත් ගුප්තා (Rajesh Onkarnath Gupta), සාමාන්‍යාධිකාරී සුනිල් ශිවප්‍රසාද් සිංහා (Sunil Shivprasad Sinha), ජ්‍යෙෂ්ඨ කළමනාකරු රාජේශ් කුමාර ශර්මා Rajesh Kumar Sharma යන මහත්වරු ඇතුළු නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Ambassador level
  • dairy cattle
  • import
  • India
  • Pakistan
  • sri lanka

කිරි ගවයින් ආනයනයට ඉන්දියාව සහ පකිස්තානය සමඟ තානාපති මට්ටමේ සාකච්ඡා

October, 10, 2022

රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව  වැඩපිළිවෙලක් කඩිනමින් අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.

මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන් එම සමාගම විසින් මෙම වසරේ උපයා ඇති ආදායම සම්බන්ධව අමාත්‍යවරයා, මෙහිදී ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබීය.

2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගොස්තු මාසය දක්වා රටේ යම් ආර්ථික පසුබැස්මක් පැවතියද පසුගිය වසරේ ඇතැම් මාසවලට සාපේක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ.

මෙම වසරේ අගෝස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. මෙම වසර අවසාන වන විට රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මෙම වසරේ ජූලි මාසයෙන් පසු සෑම මාසයකම රුපියල් මිලියන 20-30 අතර මට්ටමින් ලාබ ඉපයීම විශේෂත්වයකි.

මිල්කෝ සමාගම මෙම වසරේ දී කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් විශේෂයෙන් පැස්ටරීකරණයට ලක් කළ දියර කිරි ලීටර් 2,945,329ක්, යෝගට් ලීටර් 4,875,602ක්, මුදවපු කිරි ලීටර් 889,216ක්, අයිස්ක්‍රීම් ලීටර් 3,546,409ක්, එළඟිතෙල් කිලෝග්‍රෑම් 36,906 ක්ද වශයෙන් නිදපවා ඇති බවත් එම සමාගම පවසයි.

එමෙන්ම චීස් කිලෝ ග්‍රෑම් 12,648ක්, බටර් කිලෝග්‍රෑම් 173,897ක්, කිරිපිටි කිලෝ ග්‍රෑම් 1,290,622ක් ද නිපදවා ඇත.

දැනට ශ්‍රී ලංකාව තුළ කිරිගවයින් බෝ කිරීම සඳහා මව් සතුන්ගේ හිඟකම දැඩිව බලපා ඇති නිසා ඉන්දීය රජය මගින් කිරිගවයින් ලබා ගැනීමට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම පකිස්ථානයෙන් ද කිරි ගවයින් ලබා ගැනීම සඳහා මෙරට පකිස්ථානු තානාපතිවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන කිරි ගවයින් ලබා ගැනීමට සිදුවන්නේ ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වුවද දැනට එම රටවල් දෙකම කිරි ගවයින් අපනයනය කිරීම අත් හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දීය රජය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමක් වශයෙන් කිරි ගවයින් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

News.lk

 

  • Ada Derana BIZ Sinhala
  • Credit
  • India
  • sri lanka

2022 දී වැඩිම ණය ඉන්දියාවෙන්

September, 15, 2022

පසුගිය වසර පහ තුළ (2017-2021) චීනය ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා විය. 2021 දී, චීනය ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 947 ක් වන අතර එයින් ඩොලර් මිලියන 809 ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා ලද වෙළෙඳපොළ ණය ගැනීම් වේ.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) පසුගිය වසර 5 තුළ විශාලතම බහුපාර්ශ්වික ණය දෙන්නා වූ අතර 2021 දී ඩොලර් මිලියන 610 ක් ලබා දී ඇත.

2022 පළමු මාස හතර තුළ මුළු ශ්‍රී ලංකාව ගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 968 කි. මෙම කාලය තුළ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වූයේ ඉන්දියාවයි. එම අගය ඩොලර් මිලියන 377 කි. මෙම කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 360 ක් ලබා ගෙන ඇති අතර ඒ අනුව 2022 මුල් මාස 4 තුළ ලද විදෙස් ණයවලින් 76%ක්ම ලැබී ඇත්තේ ඉන්දියාවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙනි.

publicfinance.lk වෙබ් අඩවිය විසින් මේ බව අනාවරණය කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • India
  • iphone
  • sri lanka

iPhone කර්මාන්ත ශාලාවක් ඉන්දියාවට

September, 10, 2022

ඉන්දියාවේ Tata Group විසින් Apple iPhone  එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව Bloomberg News වාර්තා කර සිටින්නේ Tata Group සහ තායිවානයේ iPhone සැපයුම්කරු වන Wistron Corp සමඟ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති  බවයි.

Apple, Tata Group හෝ Wistron යන සමාගම්වලින් කිසිවකුත් මේ දක්වා නිල වශයෙන් අදාළ ව්‍යාපාර සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වා නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.