• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • interest rates
  • sri lanka

ඉදිරි කාලයේදී පොලී අනුපාතික තව දුරටත් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

January, 25, 2023

මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශිය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්‍රතිචාර වශයෙන් ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහළ යෑම ආරම්භ වීමේ සලකුණු නිරීක්ෂණය විය.

මහ බැංකුවේ නිත්‍ය පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඉහළ රැදියාව අඩු කිරීම සඳහා මහ බැංකුව විසින් මෑතකදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ඊට සමගාමීව විවට වෙළඳපොළ කටයුතු සිඳු කිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතාව වැඩිදියුණු විය. මෙය අන්තර් බැංකු වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වර්ධනයට හේතු විය.

ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම මෙන්ම නිල ණය හිමියන්ගෙන් ලැබීමට අපේක්ෂිත "මූල්‍ය සහතික" මත ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම හේතුවෙන් රාජ්‍ය සුරකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, එමගින් රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් පවතින ඉහළ අවදානම් පහළ යෑම පිළිබිඹු කෙරේ.

මේ අතර, ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම හේතුවෙන් වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රවණතා ඉදිරි කාලය තුළදී ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික පහළ යෑම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, දැඩි මුදල් තත්ත්වය සහ ආර්ථික ක්‍රියාකාරකම් පහළ යෑමට ප්‍රතිචාර වශයෙන් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය අඛණ්ඩව පහළ ගියේය. අඩු වේගයකින් වුවද, මුදල් ප්‍රසාරණය ද ඉහළම මට්ටමේ සිට පහළ යෑමක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 අංක 01 මුදල් ප්‍රතිපත්ති විවරණයේ මේ පිළිබඳව සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • drop
  • interest rates
  • sri lanka

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

January, 19, 2023

ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක 79 කින් පහළ ගොස් තිබේ.

වෙන්දේසිය සඳහා රු. මිලියන 95,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ලැබී ඇති ලංසු ප්‍රමාණය රු. මිලියන 194,771 කි.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමාන වන අයුරින් ලැබී තිබුණු ලංසුවලින් රු. මිලියන 95,000 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියරව ගෙන තිබුණි.

  • Ada Derana BIZ Sinhala
  • interest rates
  • sri lanka
  • treasury bill

භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

October, 12, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය වාර්තා වී තිබේ.

මේ අනුව කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් පොලිය 32.34% සිට 33.05% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 30.61% සිට 32.53% දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් දින 364 බිල්පත් පොලිය 29.75% සිට 29.60% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබුණි.

දින 91 ක හා 182 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම ඵලදා අනුපාතිකයන් අද දින වාර්තා වී තිබීම විශේෂත්වයකි.

 

  • Ada Derana BIZ Sinhala
  • CB
  • interest rates
  • policy
  • sri lanka

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි – මහ බැංකුව

October, 6, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2022 ඔක්තෝබර් 05 ) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව  පවතී.