• Ada Derana BIZ Sinhala
  • CBC Tech Solutions
  • ComBank
  • Lenovo
  • sri lanka

කොමර්ෂල් බැංකුවට අනුබද්ධ CBC Tech Solutions සමාගම Lenovo සමාගමේ වෙළෙඳ පාර්ශවකරුවෙකු ලෙස පත් වෙයි

November, 17, 2022

කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අනුබද්ධ තොරතුරු තාක්ෂණික සමාගමක් වන CBC Tech Solutions Limited සමාගම ශ‍්‍රී ලංකාවේ Lenovo නිෂ්පාදන සඳහා පාර්ශවකරුවෙකු ලෙස පත් කර තිබෙන අතර සමාගම මෙරට ආයතනික අංශය සඳහා පුළුල් පරාසයක විහිදුණු තොරතුරු තාක්ෂණික විසඳුම් ඉදිරියටත් අඛණ්ඩවම ලබාදෙනු ඇත.

මෙම නවතම ඒකාබද්ධතාවයත් සමග CBC Tech Solutions Limited සමාගම Lenovo පුද්ගලික පරිගණක, ටැබ්ලට් පරිගණක සහ IdeaPad, Yoga, Legion සහ ThinkPad ඇතුළත් උපකරණ මාලාවක් මෙරට අලෙවි කිරීමේ නියෝජිතයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.

CBC Tech Solutions 12 වන පරම්පරාවේ Intel® Core™ ප්‍රොසෙසරයන් සහිත Lenovo ThinkCentre නියෝ ඩෙස්ක්ටොප් පරිගණක මේ වසරේ ජුනි මාසයේ සිට මෙරටට ආනයනය කරන පළමු ශ‍්‍රී ලාංකේය සමාගමයි.

මෙම සමාගමේ කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය ලබාදීමට මුලින් ආරම්භ කළ සමාගමක් වූ අතර පසුව දේශීය ආයතනික අංශයටද තාක්ෂණික සහයෝගය ලබාදීම සඳහා මෙම සමාගම යොමුවිය. මෙම සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී කීර්ති මැදිවක මහතා පවසන්නේ Lenovo සමාගම සමග ඇතිකර ගත් ඒකාබද්ධතාවය සමග සමාගමේ ව්‍යාපාරික කටයුතුවල පරාසය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙම සමාගම 2003 වසරේදී ආරම්භ කළ අතර එහි අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණික විසඳුම් ලබාදෙන නව්‍ය සමාගමක් ලෙසින් පෙරමුණට පැමිණීමයි. පාරිභෝගිකයින්ට වඩාත් විශ්වසනීය තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සහ සේවා ලබාදෙමින් තාක්ෂණික නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම සමාගමේ ඉලක්කයයි.

 

සේයාරූ සටහන :  CBC Tech Solutions සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, කීර්ති මැදිවක මහතා (දකුණේ සිට තුන්වැන්නා) සහ Lenovo සමාගමේ විදේශ ව්‍යාපාරික අංශයේ සාමාන්‍යාධිකාරී, නවීන් කෙජ්රිවාල් මහතා (වමේ සිට සිව් වැන්නා) සහ විදේශ වාණිජ ව්‍යාපාරික අංශයේ අලෙවි ප‍්‍රධානී, සමීර් වර්ෂ්නේ මහතා (වමේ සිට තුන්වැන්නා) ගිවිසුම හුවමාරු කරගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) CBC Tech Solutions සමාගමේ සහකාර කළමනාකරු, චාමික අතාවුද මහතා, ශ‍්‍රී ලංකාවේ Lenovo කළාපීය අලෙවි කළමනාකරු, ප‍්‍රසන්න කුලසිංහ මහතා, කොමර්ෂල් බැංකුවේ සහ CBC Tech Solutions සමාගමේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, සනත් මනතුංග මහතා සහ CBC Tech Solutions සමාගමේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, නලීන් ගුණතුංග මහතා සේයාරුවේ සිටිති.

  • Lenovo
  • Lenovo FY21/22

‘Lenovo FY21/22’ සම්මාන උළෙලේ දී හොඳ ම අලෙවි කරුවා ලෙසත්,  Lenovo නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා ලෙසත් IT Gallery ඇගයෙයි

November, 4, 2022

IT Gallery Computers (Pvt) Ltd සමාගම, ගෝලීය වශයෙන් කීර්තිමත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදන හා සේවා ශ්‍රී ලංකාව තුළ බෙදාහරින ප්‍රමුඛතම සමාගමක් වන අතර, එම සමාගම පසුගිය දා පැවති 'Lenovo FY21/22' හවුල්කාරිත්ව ඇගයීමේ සම්මාන උළෙලේ දී හොඳ ම අලෙවිකරුවා ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන් ම එම අවස්ථාවේ දී  ThinkPad, ThinkBook, Legion හා ThinkCentre පරිගණක, ටැබ්ලට් සහ උපාංග ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහැරීම සඳහා Lenovo සමාගමේ බලයලත් අලෙවි නියෝජිතයා ලෙස ද IT Gallery සමාගම පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ පැවති වසංගත තත්ත්වය සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා Lenovo හා IT Gallery අතිවිශිෂ්ට හවුල්කාරිත්වය බෙහෙවින් බලපෑ බව පැවසිය යුතු ම කරුණකි. එම නිසා ම 2020 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව තුළ Lenovo නිෂ්පාදනවල බලයලත් බෙදාහරින්නෙකු මෙන් ම Lenovo Commercial Series බෙදාහරින්නා ලෙස ද  IT Gallery පත් කෙරිණි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය නේපාලයේ කත්මණ්ඩු නුවර හයට් රීජන්සි හෝටලයේ දී පැවැත්වුණු අතර, එහි දී IT Gallery විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කරන ලද වාණිජ නිෂ්පාදන පරාසය වෙනුවෙන් හොඳ ම අලෙවිකරුවා ලෙස සම්මාන හිමිකරගන්නා ලදී. IT Gallery වෙත මෙම සම්මානය පිරිනමන ලද්දේ ISO AP වාණිජ නාලිකාවේ විධායක අධ්‍යක්ෂ රෝයි එන්ජී හා Lenovo India සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂයිලෙන්ද්‍ර කට්යාල් යන මහත්වරුන් විසිනි.

විශේෂයෙන් පසුගිය දෙවසර තුළ මෙම හවුල්කාරිත්වය හරහා සිදු කළ  දකුණු ආසියානු කලාපයේ Lenovo නිෂ්පාදන පිළිබඳ සාමාන්‍යාධිකාරී නවීන් කෙජ්රිවාල් මහතා  IT Gallery සමාගම ලබා දුන් සුවිශේෂී සහයෝගය පිළිබඳව කෘතඥතා පූර්වක ස්තුතිය පළ කළ අතර, ඉන්දියාවේ වාණිජ ව්‍යාපාර පිළිබඳ විධායක අධ්‍යක්ෂ අජේ සෙගාල් මහතා ද එම අවස්ථාවේ දී IT Gallery සමාගමේ සහයෝගීතාව බෙහෙවින් ඇගයීමට ලක් කළේය.

Lenovo යනු පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, පෞද්ගලික පරිගණක, මෘදුකාංග, ව්‍යාපාරික විසඳුම් ඇතුළු තවත් බොහෝ දෑ නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛතම නිෂ්පාදනායතනයකි.  ගෝලීය පරිගණක වෙළෙඳපොළේ  25% ක වෙළෙඳපොළ කොටස් හිමි Lenovo සමාගමේ නිෂ්පාදන දේශීය වශයෙන් දිවයින පුරා බෙදා හැරීම  සඳහා IT Gallery සමාගමේ ශක්තිමත් බෙදාහැරීමේ ජාලය නිසා වඩාත් පහසු වී ඇත.  Lenovo හා IT Gallery සහයෝගීතාව මගින් Lenovo නිෂ්පාදන දේශීය වශයෙන් වර්ධනය කිරීම සඳහා මනා දායකත්වයක් සපයනු ඇති බව පැවසිය යුතු ම කරුණකි.

IT Gallery සමාගමේ අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, " ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම සහිත පරිගණක බෙදාහරින්නා බවට පත්වීම ජීවිත කාලය පුරා ම පැවති සිහිනයක්.  විවිධ අභියෝග මධ්‍යයේ මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.  Lenovo ඇතුළු ලෝක ප්‍රකට සන්නාම රැසක් සමඟ හවුල් වීමට ලැබීම නිසා නිෂ්පාදන කළඹ වර්ධනය කර ගැනීමට IT Gallery සමාගමට හැකි වෙලා තිබෙනවා. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය, පෞද්ගලික හා ආයතනික යන සියලු ම අංශ ආවරණය කරමින්, අනාගතයේ දී අඛණ්ඩ සාර්ථකත්වයක් කරා ගමන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

IT Gallery යනු Lenovo නිෂ්පාදන බෙදා හැරීමට අමතරව, Hikvision වීඩියෝ නිරීක්ෂණ විසඳුම්, EAST UPS හා බලශක්ති නිෂ්පාදන, Pantum මුද්‍රණ නිෂ්පාදන, A4 තාක්ෂණික උපාංග, G&G මුද්‍රණ උපාංග, OCEAN බහුමාධ්‍ය නිෂ්පාදන ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වේ.  මීට අමතරව, තොරතුරු ආරක්ෂණ හා ජාලකරණ විසඳුම්, CCTV, ELV, භෞතික යටිතල පහසුකම් විසඳුම්, දෘශ්‍යකරණ හා ගබඩා විසඳුම්, බල හා UPS විසඳුම්, අවසන් පරිශීලක පරිගණකකරණය සහ මුද්‍රණ විසඳුම් සඳහා ද IT Gallery ආයතනය විශේෂඥතාවක් දක්වයි. IT Gallery සමාගම ලැබූ මෙම ඇගයීම් මෙන් ම ගොඩනඟාගත් හවුල්කාරිත්වයන් තුළින් ශ්‍රී ලාංකික සේවාදායකයින්ට හා ව්‍යාපාරික හවුල්කරුවන්ට තාක්‍ෂණික සහකරුවකු වෙමින්, පද්ධති ඒකාබද්ධ කිරීම, නැවත විකිණීම හා උපදේශනය යන ක්ෂේත්‍ර හරහා පුළුල් සේවාවක් ලබා දීමේ හැකියාව එම සමාගමට ලැබෙනු ඇත.